Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ව්‍යාපාරිකයකු රවටා කෝටි 22ක් කොල්ලකෑම සම්බන්ධයෙන් කොල්ල කල්ලියේ 4ක් පොලිස් අත්අඩංගුවට

ව්‍යාපාරිකයකු රවටා කෝටි 22ක් කොල්ලකෑම සම්බන්ධයෙන් කොල්ල කල්ලියේ 4ක් පොලිස් අත්අඩංගුවට

ව්‍යාපාරිකයකු රවටා කෝටි 22ක් කොල්ලකෑම සම්බන්ධයෙන් කොල්ල කල්ලියේ 4ක් පොලිස් අත්අඩංගුවට

රන් කිලෝ 15ක් අඩු මිලට ලබාදෙන බව පවසා වෙළම්බඩ ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු රවටා ඔහු සතු රුපියල් කෝටි 22ක මුදලක් කොල්ලකෑ බව කියන කල්ලියේ සාමාජිකයන් සිවු දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම කොල්ලය සඳහා පුද්ගලයන් අට දෙ‍නකු සහභාගි වී තිබෙන බවට තොරතුරු අනාවරණය වී ඇත. සැකකරුවන් අතර සර්වජන බලය හා පොදුජන එක්සත් පෙරමුණෙන් පසුගිය පළාත් පාලන මැතිවරණයට තරග කළ අපේක්ෂකයන් තිදෙනකු සිටින බවටද පොලීසියට තොරතුරු ලැබී තිබේ.

විදේශ රටක සිට අදාළ කොල්ලය සැලසුම් කර තිබෙන අතර අඩු මිලට රන් කිලෝ 15ක් ලබා දිය හැකි බව පවසමින් පුද්ගලයන් දෙදෙනකු ව්‍යාපාරිකයා හමුවීමට පැමිණ රන් බිස්කට්ටුවක් ඔහුට ලබා දී ඇත. එම රන් බිස්කට්ටුව පරීක්ෂා කිරීමේ දී එය කැරට් 24 රන් බිස්කට්ටුවක් බව තහවුරු වී තිබේ.

ගනුදෙනුව කතා කළ පිරිස නියම රන් ලබාදෙන බවට විශ්වාස කළ ව්‍යාපාරිකයා රුපියල් කෝටි 22ක මුදලකට රන් කිලෝ 15 මිලට ගැනීමට එකඟ වී ඇත.

ගනුදෙනුව සිදු කිරීම සඳහා පසුගිය 08 වැනි දින පුද්ගලයන් තිදෙනකු වෙළම්බඩ පිහිටි ව්‍යාපාරිකයාගේ නිවෙසට පැමිණ තිබේ. එම අවස්ථාව වනවිට ව්‍යාපාරිකයා රන් භාණ්ඩ අලෙවිකරුවකුගෙන් රුපියල් කෝටි 10ක්ද තම ප්‍රාඩෝ වර්ගයේ ජීප් රථයද බිරියගේ හා දරුවන්ගේ රන් භාණ්ඩ ද විකුණා රුපියල් කෝටි 22ක මුදල සම්පූර්ණ කර ගෙන ඇත.

සැකකරුවන් තිදෙනාට දිවා ආහාරය අසල්වැසි නිවෙසක සූදානම් කර තිබී ඇති අතර එම අවස්ථාවට ව්‍යාපාරිකයාගේ පවුලේ උදවියද සහභාගි වී තිබේ.

එම අවස්ථාවේ වෑන් රථයකින් පැමිණි තවත් සිවු දෙනෙකු මුදල් කොල්ලකා පලාගොස් තිබෙන බව පොලීසිය පවසයි. මුදල් කොල්ලකෑ බව ව්‍යාපාරිකයා ප්‍රකාශ කිරීමත් සමඟ අසල්වැසි නිවෙසේ ආහාර ගනිමින් සිටි තිදෙනා අල්ලා ගැනීමට නිවැසියන් කටයුතු කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් වෙළම්බඩ පොලීසිය සමඟ මහනුවර කොට්ඨාස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවද පරීක්ෂණ කළ අතර කොල්ලය සිදු කළ පුද්ගලයන් සිවු දෙනා අතරින් එක් අයෙකු ඇඹිලිපිටිය ප්‍රදේශයේදී (11) අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් පැමිණි වෑන් රථය සී.සී.ටී.වී. ඔස්සේ හඳුනාගෙන තිබෙන අතර කොල්ලය සඳහා ඔවුන් පැමිණ ඇත්තේ එයට ව්‍යාජ අංක තහඩු සවිකර බව පොලිස් පරීක්ෂණ මඟින් අනාවරණය වී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගැනීම සඳහා මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහ මහතාගේ උපදෙස් මත මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායක මහතාගේ මෙහෙයවීමෙන් කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තිලක් සමරනායක මහතා ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වති.

Exit mobile version