Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

2023දී නිදහස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමෙන් කෝටි 7ක පාඩුවක්

2023දී නිදහස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමෙන් කෝටි 7ක පාඩුවක්

2023දී නිදහස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමෙන් කෝටි 7ක පාඩුවක්

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සහ දුම්රිය දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති කිහිපයක් සඳහා නිදහස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම හේතුවෙන් 2023 වසරේදී පමණක් එම ආයතන දෙකට රුපියල් කෝටි 7කට ආසන්න පාඩුවක් සිදුව ඇතැයි ජාතික විගණන‌ ලේකම් කාර්යාලය සිදු කළ විගණනයකදී අනාවරණය වී තිබේ.

ලංගම බස් රථවලින් රට පුරා නොමිලේ ගමන් කළ හැකි වන පරිදි විවෘත නිදහස් ගමන් බලපත්‍ර 138ක් ආයතන සංග්‍රහයට පටහැණි අයුරින් වෘත්තීය සමිති 8ක් සඳහා නිකුත් කිරීමෙන් 2023 වසරේදී පමණක් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට රුපියල් කෝටි හතරහමාරකට ආසන්න පාඩුවක් සිදුව ඇතැයි මේ අනුව විගණනයේදී හෙළිව තිබේ.

එමෙන්ම දුම්රිය දෙපාර්තමේන්තුවෙන්ද වෘත්තීය සමිති සඳහා නිදහස් ගමන් අවසර පත්‍ර 22ක් නිකුත් කිරීමෙන් 2023 වසරේදී එම දෙපාර්තමේන්තුවට රුපියල් කෝටි දෙකහමාරකට අධික පාඩුවක් සිදුව තිබෙන බවත් ජාතික විගණන කාර්යාලය නිකුත් කර ඇති වර්තාවක සඳහන්ය.

ආයතන සංග්‍රහයට අනුව රජයේ පිළිගත් එක් වෘත්තීය සමිති සම්මේලනයක් වෙනුවෙන් නිලධාරීන් දෙදෙනකු පූර්ණකාලීනව සම්මේලනයේ කටයුතු සඳහා නිදහස් කළ හැකි බව විගණකාධිපතිවරයා සිය වාර්තාවෙන් පෙන්වා දෙයි.

එසේ මුදාහරිනු ලබන නිලධාරියකුට දිවයිනේ ඕනෑම ස්ථානයකට ගමන් කිරීම සඳහා නිදහස් දුම්රිය බලපත්‍ර සහ මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ නිදහස් ප්‍රවේශපත්‍ර ලබාදිය යුතු වුවත් 2023දී වෘත්තීය සමිති 8ක් වෙනුවෙන් නිදහස් ගමන් අවසර පත්‍ර 138ක් නිකුත් කර ඇති බවද එම වාර්තාවේ දැක්වේ.

ඒ අනුව ගමනාගමන මණ්ඩලයට සිදුව ඇති පාඩුව රුපියල් 43,046,993ක් බව එහි සඳහන්ව ඇත.

දුම්රිය නිදහස් බලපත්‍ර 22ක් ලබාදීමෙන් රජයට සිදුව ඇති පාඩුව ලෙස සඳහන් වන්නේ රුපියල් 25,294,500කි.

මේ ආයතනවලට පාඩු වන අයුරින් අවිධිමත්ව නිකුත් කළ අවසර පත්‍ ආපසු ලබා ගැනීම හෝ පාඩු අය කර ගැනීමට කටයුතු කළ යුතු බවට විගණකාධිපතිවරයා සිය වර්තාවේ සඳහන් කර තිබේ.

Exit mobile version