Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

බීමතින් රිය පදවන රියදුරන්ගේ බලපත්‍රය මාස 12ක් අත්හිටුවීමට පියවර

බීමතින් රිය පදවන රියදුරන්ගේ බලපත්‍රය මාස 12ක් අත්හිටුවීමට පියවර

බීමතින් රිය පදවන රියදුරන්ගේ බලපත්‍රය මාස 12ක් අත්හිටුවීමට පියවර

මින් ඉදිරියට සෑම අවස්ථාවකදීම බීමත්ව රිය පැදවීම හේතුවෙන් අත්අඩංගුවට ගන්නා රියදුරන්ගේ රියදුරු බලපත්‍රය මාස 12ක කාලයක් සඳහා අත්හිටුවීමට හෝ රියදුරු බලපත්‍රය අවලංගු කරන ලෙසට අධිකරණයෙන් ඉල්ලා සිටීමට පොලීසිය කටයුතු කරනු ලබන බව පොලීසිය දැනුම්දෙයි.

එබැවින් බීමතින් රිය ධාවනය නොකරන ලෙස ශ්‍රී ලංකා පොලීසිය සියලුම රියදුරන්ගෙන් ඉල්ලා සිටී.

පොලීසිය මේ බව නිවේදනය කළේ ඉකුත් පැය 24 තුළ ක්‍රියාත්මක කරන ලද විශේෂ රථවාහන මෙහෙයුම සම්බන්ධයෙන් මාධ්‍ය වෙත තොරතුරු දැනුම් දෙමිනි.

ඒ අනුව,අද දින (26) පෙරවරු 6න් අවසන් වූ පැය 24 තුළ බීමත් රියදුරන් 395 දෙනෙකු සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කළ බව පොලීසිය පවසයි. ඒ ඊයේ දින (25) පෙරවරු 6 සිට අද දින (26) පෙරවරු 6 දක්වා සිදුකළ රථවාහන මෙහෙයුම්වලදීය.

එම පැය 24ක කාලය තුළ අපරීක්ෂාකාරී හා අන්තරාදායක ලෙස රිය පැදවීමට අදාළ රියදුරුන් 50 දෙනෙකු, අධික වේගයෙන් රිය පැදවීම සම්බන්ධව රියදුරන් 120 දෙනෙකු මාර්ග නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් රියදුරන් 1,262ක්, බලපත්‍ර වැරදි සම්බන්ධ රියදුරන් 682ක් සහ වෙනත් රථවාහන වැරදි සම්බන්ධයෙන් රියදුරන් 5,441ක් වශයෙන් සමස්ත රථවාහන වැරදි සම්බන්ධයෙන් රියදුරන් 7,950ක් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කර ඇත.

උත්සව සමයේ රථවාහන අනතුරු අවම කරගැනීමේ අරමුණින් වැඩබලන පොලිස්පතිගේ උපදෙස් පරිදි දිවයිනම ආවරණය වනපරිදි විශේෂ රථවාහන මෙහෙයුම ආරම්භ කෙරුණේ ඉකුත් 20වනදා සිටය.

මෙම විශේෂ මෙහෙයුම තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට පොලීසිය කටයුතු කරනු ඇත.

Exit mobile version