Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ජාතිවාදී හෝ ආගම්වාදී හෝ දේශපාලනයක් ගොඩනැගීමට කිසිදු අයුරකින් ඉඩ නැහැ – ජනපති

ජාතිවාදී හෝ ආගම්වාදී හෝ දේශපාලනයක් ගොඩනැගීමට කිසිදු අයුරකින් ඉඩ නැහැ - ජනපති

ජාතිවාදී හෝ ආගම්වාදී හෝ දේශපාලනයක් ගොඩනැගීමට කිසිදු අයුරකින් ඉඩ නැහැ - ජනපති

ජාතිවාදී හෝ ආගම්වාදී හෝ දේශපාලනයක් ගොඩනැගීමට කිසිදු අයුරකින් ඉඩ නොතබන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි.

ජනාධිපතිවරයා සිය රාජාසන කතාව මගින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුව හමුවේ අද් (21) ඉදිරිපත් කර කළේය.

සියලු ජනතාව තමා ඇතුළු ආණ්ඩුව කෙරෙහි විශ්වාසය තබා ලබාදුන් විශ්වාසයට ස්තූතිවන්ත වෙන බවද සියලු පුරවැසියක් අත්නොහරින ආණ්ඩුවක් බවත් ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.

ප්‍රජාතන්ත්‍රවාදී රට ලෙස ශ්‍රී ලංකාව තුළ තනි පක්ෂයක් රට පාලනය කිසිවිටෙකත් අපේක්ෂා නොකරන බව ඔහු කියා සිටියේය.

එනිසා සියලු පුරවැසියන්ගේ උවමනාවන් ඉටුකිරීමට බැඳී සිටින බවත් ඒ සඳහා වග වෙන බවත් සිය ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමින් පැවසීය.

ජනතාවගේ වගකීම මේ වනවිට ඉටුකර අවසන් බවත් මේ මොහොතේ සිට ජනාධිපතිවරයා වශයෙන් තමා ජනතාවගේ වගකීම සම්පූර්ණයෙන් භාරගන්නා බවත් මැතිවරණ ව්‍යාපාරයෙන් එක් අරමුණක් වෙනුවෙන් අප ගොඩනැගුණු බව පසක් කර අවසන් බව ද පැවසු ජනාධිපතිවරයා යළි අපේ රටේ ජාතිවාදී දේශපාලනයට ඉඩක් නොමැති බව සඳහන් කළේය.

එමෙන්ම කවර ආකාරයේ හෝ ආගමික අන්තවාදයකට හිස එසවීමට ඉඩක් නොමැති බවද ජනපතිවරයා අවධාරණය කරන ලදි.

“හැබැයි කිසිවෙකුට අපේ රටේ යළි දේශපාලන බලය අත්පත් කරගැනීම වෙනුවෙන් ජාතීවාදී, ආගම්වාදී, සටන්පාඨ ගොඩනැගීමට ඉඩ නොදෙන බව මම ඔබට සහතික කරනවා…”

සියලුදෙනාම මහජන නියෝජිතයින් නම් පාර්ලිමේන්තුව තුළ අදහස් දක්වන සියල්ල ජනතාව දැනගත යුතු බවද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළා.

එමෙන්ම ශක්තිමත් රාජ්‍ය සේවයකින් තොරව කිසිවිටෙකත් රටට ඉදිරියට යා නොහැකි බවයි හෙතෙම කියා සිටියේ.

“අපි විශ්වාස කරනවා කාර්යක්ෂම රාජ්‍ය සේවයක්, මහජනයාගේ හිත සුව පිණිස වැඩ කරන රාජ්‍ය සේවයක් මේ රටේ යළි ස්ථාපිත කළ යුතුයි. ඒ සඳහා මා හිතනවා රාජ්‍ය සේවයකයින් තුළින්ම ප්‍රබල ජනවරමක් අපිට ලබාදී තිබෙනවා. ඒ පිළිබඳ අපි අවධානය යොමු කර තිබෙනවා.”

“දේශපාලනික වෙනස්කම් විය හැකියි. නිදහස කියන එක හැමකෙනාටම පොදු දෙයක්. ඒ නිසා හැමකෙනාටම බියෙන් සැකෙන් තොර ප්‍රජාතන්ත්‍රවාදී නිදහස් රාජ්‍යයක් ගොඩනැගීම අපගේ වගකීමක්. එය අපි ඉටුකරන බව අපි සහතික කරනවා.“

“ජනතාවට නීතිය ක්‍රියාත්මක වෙන බවට හැඟීමක් ඇති විය යුතුයි. පසුගිය කාලයේ පුරා රටේ සිදුව ඇත්තේ නීතිය ගැන ජනතා විශ්වාසය බිඳ වැටිලා. පොදු ජනතාව තුළ නීතිය හා විධානයේ ආධිපත්‍ය ගැන තිබෙන විශ්වාසය බිඳ වැටිලා තියෙනවා. නීතිය හා විධාන ආධිපත්‍ය ශක්තිමත් කිරීමකින් තොරව යහපත් රාජ්‍යයක් ගොඩනැගීමට අපිට කිසිසේත්ම හැකියාවක් ලැබෙන්නේ නෑ. කිසි කෙනෙක් මින් පසුව නීතියට උඩින් නෑ. හැමදෙනාම නීතියට යටත්විය යුතුයි. නීතිය ගැන ජනතාවගේ බිඳ වැටුණ විශ්වාසය යළි ඇති විය යුතුයි.”

“මම ඔබට සහතිකයක් දෙනවා. ආන්දෝලනයට තුඩුදුන් අපරාධයන්, එහි වගඋත්තරකරුවන් හෙළිදරව් කරන බවටත්, ඔවුන්ව නීතිය හමුවට ගෙන යන බවටත්, වින්දිතයින්ට සාධාරණය ඉටු කරන බවටත් අපි ඔබට සහතිකයක් දෙනවා. අපිට අවශ්‍යයි නීතිය, යුක්තිය ඉඩවන රාජ්‍යයක්.“

“ආර්ථිකය ඉතා සියුම්ව බිඳ වැටීමට ඉඩනොදී සෑම පැත්තකින් කල්පනා කරලා ගත යුතු අවස්ථාවකට අපි ඇවිත් තියෙනවා. අපිට වැරදි කරන්න අවස්ථාවක් මේ ආර්ථිකයෙන් අපිට උරුම කරලා දීලා නෑ. අත්වැරදීමක් හෝ කරන්න අවස්ථාවක් මේ ආර්ථිකයෙන් අපිට උරුම කර දී නෑ. ඒ නිසා සියුම් සෑම තැනක්ම අපි සලකා බැලිය යුතුයි.”

“පළමුකොටම භාණ්ඩ හා සේවා නිෂ්පාදනයේ වේගවත් වර්ධනයක් හා ප්‍රසාරණයක්. අනතුරුව ඒ ආර්ථිකයේ ඊළඟ ලක්ෂණය තමයි ඒ ආර්ථිකයට ජනතාව සම්බන්ධ විය යුතුයි. ජනතාව පිටමන් කරන ලද ආර්ථිකයෙන් අපට ඵලක් නෑ. ආර්ථිකයේ සෑම ක්‍රියාදාමයක දීම ඒ ඒ හැකියාව අනුව ජනතාව ආර්ථිකයේ පංගුකරුවන් විය යුතුයි. තුන්වන ලක්ෂණය තමයි අපි මොනතරම් ජාතික ධනය උත්පාදනය කළත් ඒ ධනය අතළොස්සක් අතේ සංඛේන්ද්‍රනය වන්නේ නම් ඒ රාජ්‍ය ස්ථාවර කරන්නේ නෑ. අපේ ප්‍රතිපත්තිය ආර්ථික ප්‍රතිලාභ සාධාරණ ලෙස ජනතාව වෙත ගලා යා යුතුයි.”

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සඳහා ජනාධිපති කාර්ය සාධක බළකායක් පිහිටුවීමට බලාපොරොත්තු වන බවද පැවසු ජනාධිපතිවරයා පුරවැසියාගේ යහපත් පරිවර්තනයකින් තොරව ජයග්‍රහණය සාර්ථක කරගත නොහැකි බවද පාර්ලිමේන්තුව අමතමින් වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.

Exit mobile version