Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

සුජීව සේනසිංහට අයත් V8 රථය, වහාම CID භාරයට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමට නියෝග

සුජීව සේනසිංහට අයත් V8 රථය, වහාම CID භාරයට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න නියෝගයක්

සුජීව සේනසිංහට අයත් V8 රථය, වහාම CID භාරයට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න නියෝගයක්

කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් මත නීති විරෝධී ලෙස එකලස් කළ වාහනයක් සොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද දිනයේදී (11) සුජීව සේනසිංහ හිටපු රාජ්‍ය අමාත්‍යවරයාගේ නිවස පරීක්ෂා කර තිබේ.

අද (11) දහවල් සුජීව සේනසිංහ මහතා ඔහුගේ කොළඹ පිහිටි නිවසට පැමිණි බව, අප වාර්තාකරුවන් සඳහන් කළේය.

අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණ නියෝගයද රැගෙන එම නිවස පරීක්ෂා කිරීමට පැමිණියේය.

නමුත් අද(11) පස්වරුව වන තෙක් සේනසිංහ මහතාගේ නිවස පරීක්ෂා කිරීමට නිලධාරීන්ට නොහැකිවූයේ කිසිවෙකු එහි දොරටුව විවෘත නොකිරීම නිසයි.

මේ අතර නීතිවිරෝධීව කොටස් එකතු කර සකස් කළ බවට සැක කරන පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාට අයත් සුඛෝපභෝගී V8 වර්ගයේ රථය, වහාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කලේය.

ඒ, අදාළ වාහනය, සුජීව සේනසිංහ මහතා භාරයේ තබා ගැනීමෙන් එය අස්ථාන ගතවීමේ හෝ අනතුරකට ලක්වීමේ හැකියාවක් ඇති බවට විමර්ශන නිලධාරීන් කළ කරුණු දැක්වීමක් සළකා බලමින්.

සුජීව සේනසිංහ මහතාට අයත් කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි නිවසේ නීතීවිරෝධී කොටස් එකලස් කර සකසන ලද වාහනයක් ඇති බවට ලද තොරතුරු අනුව වලාන විශේෂ දූෂණ විමර්ශන කොට්ඨාසය ඒ පිළිබඳ පරීක්ෂණ පවත්වා තිබිණි. අනතුරුව, එහි වැඩිදුර විමර්ශන සිදුකළේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවයි.

මීට පෙර, විමර්ශන නිලධාරීන් ඒ පිළිබඳ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළේය. ඒ අනුව එම වාහනය සම්බන්ධයෙන් රස පරීක්ෂක වාර්තාවක් කැඳවීමටද, එදින නියෝග කර තිබුණි.

Exit mobile version