Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඖෂධ හා ආහාර වැට් බදු සම්පූර්ණයෙන්ම ඉවත් කරනවා – අනුර

තමාගේ රජයක් යටතේ අධ්‍යාපන උපකරණ, ඖෂධ හා ආහාර මුළුමනින්ම බදුවලින් නිදහස් කරන බව ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ඊයේ (17) පැවැත්වුණු ජාතික ජනබලවේගයේ තංගල්ල ජනරැළියේදී අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළා.

පොහොසත් රටක් මෙන්ම සතුටින් ඉන්න ජනතාවක් බිහි කිරීම ජාතික ජන බලවේගයේ සැලැස්ම බව අනුර කුමාර දිසානායක මහතා මෙහිදී ප්‍රකාශ කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක මහතා,

“අපේ රටේ පුරවැසියන්ට ඖෂධ මිලදී ගැනීම සඳහා විශාල මිලක් ගෙවන්න සිදු වෙලා තියෙනවා.මේක පිටිපස්සේ තියෙන්නෙ විශාල කොමිස්, ඒ වගේම ප්‍රමිතියෙන් තොර බාල ඖෂධ ගෙනල්ල තියෙනවා… අපි සැලැස්මක් හදලා තියෙනවා ගුණාත්මක ඖෂධ අඩු මිලකට පුරවැසියන්ට ලබා දෙන්න පුළුවන් විදියට, අපි එන්නෙ පෞද්ගලිකව සතයක්වත් හම්බ කරන්න නෙමෙයි, පළවෙනි වතාවට අපි එහෙම ආණ්ඩුවක් හදමු.”

මෙය ජාතික ජන බලවේගය පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයාගේ පළමු ජන රැළියයි.

දකුණු පළාතම ආවරණය වන පරිදි තංගල්ල මාතර සහ ගාල්ල යන නගරවලදී ජාතික ජනබලවේගයේ ජනරැලි අද දිනයේ පැවැත්වුණා.

රුහුණ පෙරට රට අනුරට යන මැයෙන් මෙම ජනරැලි සංවිධාන කර තිබූ අතර වර්ෂාව මධ්‍යයේ විශාල පිරිසක් මෙම ජනහමුවලට එක්ව සිටියා.

Exit mobile version