Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මාධ්‍ය උපමාන සමාජ මාධ්‍ය සඳහාද අදාළයි

මාධ්‍ය උපමාන සමාජ මාධ්‍ය සඳහාද අදාළයි

මාධ්‍ය උපමාන සමාජ මාධ්‍ය සඳහාද අදාළයි

මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කරන ලද මාධ්‍ය උපමාන සමාජ මාධ්‍ය සඳහාද අදාළ වන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව මැතිවරණ කාල සීමාව තුළ මෙම උපමානවලට අනුව සමාජ මාධ්‍ය කටයුතු කළ යුතු බවත් ඉදිරියේදී මාධ්‍ය ආචාරධර්ම ගැසට් පත්‍රයක් නිකුත් කිරීමට කටයුතු කරන බවත් මැතිවරණ නියොජ්‍ය කොමසාරිස් පියුමි ආටිගල මෙනවිය ප්‍රකාශ කර ඇත.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ සිකුරාදා (09) පැවති ජනාධිපතිවරණය පිළිබඳ මැතිවරණ කොමිසමේ විශේෂ කරුණු දැක්වීමට එක්වෙමින් ඇය මේ පිළිබඳව සඳහන් කර තිබේ.

සමාජ මාධ්‍ය නියාමනය සඳහා මැතිවරණ කොමිසමේ අභ්‍යන්තර නිරීක්ෂණ කණ්ඩායමක් යොදා ඇති අතර මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම් , ස්වේච්ඡා කණ්ඩායම් ලබා දෙන තොරතුරු සමාජ මාධ්‍ය නියාමන කමිටුව වෙත යොමු කරන බවයි මැතිවරණ නියොජ්‍ය කොමසාරිස්වරිය සඳහන් කර සිටියේ.

අනතුරුව සුදුසු උපාය මාර්ග උපමාන සමඟ ගළපා සෘජුව සමාජ මාධ්‍ය පරිපාලකයන් සමග සාකච්ඡා කර ඒ සඳහා අවශ්‍ය පියවර ගන්නා බවද ඇය වැඩිදුරටත් අවධාරණය කළා.

එමෙන්ම සෑම විටම මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කරන ලද විධානයන්ට සහ උපමානවලට අනුව සමාජ මාධ්‍යයන්ද කටයුතු කළ යුතු බව පෙන්වා දුන් කොමසාරිස්වරිය ඡන්ද විමසීම් කාල සීමාවේදී අසත්‍ය තොරතුරු සංසරණය සිදුවන බැවින් මේ පිළිබඳව සූක්ෂමව සොයා බැලීමට කණ්ඩායමක් යොදවා ඇති බවද ඒ සඳහා වගකිව යුතු ආයතතනවල සහයෝගය ලබා ගන්නා බවද සඳහන් කර ඇත.

එසේම සමාජ මාධ්‍ය ඔස්සේ අපේක්ෂකයන් ප්‍රවර්ධනය කිරීමේදී වෙනත් පක්ෂයකට හෝ අපේක්ෂකයෙකුට හානි සිදු කරන අයුරින් කටයුතු කරන බවට හෝ වැරදි තොරතුරු විකෘති තොරතුරු භාවිත කරන බවට නිරීක්ෂණය වන්නේ නම් මැතිවරණ කොමිෂන් සභාව මේ සම්බන්ධව සෘජුව මැදිහත් වීමක් සිදු කෙරෙන බවයි ඇය පෙන්වාදුන්නේ.

තවද මේ වන විට තරුණ පිරිස් tiktok සහ Instagram වැඩි වශයෙන් භාවිත කරන බැවින් පළමු වරට ඡන්දය භාවිත කරන තරුණ ප්‍රජාවගේ ඡන්ද භාවිතාව සමාජ මාධ්‍ය සමඟ බැඳී ඇති බැවින් මේ සම්බන්ධව කොමිසම විශේෂ අවධානයක් යොමු කර ඇති බවද කොමසාරිස්වරිය සඳහන් කලේය.

එසේම මැතිවරණ කොමිෂන් සභාව නිහඬකාලයක් ප්‍රකාශයට පත් කළ අවස්ථාවේදී සමාජ මාධ්‍ය නිහඬ කිරිම අසීරු බව පෙන්වාදුන් කොමසාරිස්වරිය මෙම කාලයේ සිදු කෙරන ප්‍රචාරණයෙන් අනිසි බලපෑමක් සිදුවන බව පෙන්වාදුන් අතර චක්‍රලේඛ සහ අණ පනත් මගින් ප්‍රචාරණ කටයුතු සීමා කිරීමට ක්‍රියා කර ඇති බවද පෙන්වා දුන්නා.

තවද වෛරී ප්‍රකාශනයන් ,අසත්‍ය තොරතුරු සංසරණය වන්නේ නම් ඒ් පිළිබඳව කටයුතු කිරීමටද කොමිසම සූදානම් බව පෙන්වාදුන් කොමසාරිස්වරය මැතිවරණ කාල සීමාව තුළ මාධ්‍ය උපමානවලට අනුව කටයුතු කරන ලෙසද ඉල්ලීමක් කළ බව සඳහන්.

මෙවර මැතිවරණයේදී කෘත්‍රිම බුද්ධිය භාවිත කෙරෙනු ඇති බවට මැතිවරණ කොමිෂන් සභාව අපේක්ෂා කෙරෙන අතර ඒ සඳහා අවශ්‍ය සහයෝගය සහ උපදෙස් ලබා දීමට අදාළ පාර්ශ්වයන් සමග සාකච්ඡා කර ඇති බවද සමාජ මාධ්‍ය මගින් යම් අපේක්ෂකයෙක් හෝ පක්ෂයක් අගතියට පත් නොවන ලෙස කටයුතු කරන ලෙසද ඇය මෙහිදී ඉල්ලීම් කළ බව සඳහන්.

Exit mobile version