Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මුං ඇට වගාව සඳහා ගොවියෙකුට රු.25,000ක්

මුං ඇට වගාව සඳහා ගොවියෙකුට රු.25,000ක්

මුං ඇට වගාව සඳහා ගොවියෙකුට රු.25,000ක්

2024 යල කන්නයේ කුඹුරුවල අස්වනු නෙලීම අවසන් කළ වහාම ඉපනැල්ලේ මුං ඇට වගා කිරීමේ තුන්වන කන්නය හෙවත් අතරමැදි කන්නයක් වගා කිරීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය විසින් කටයුතු යොදා ඇත.

ඒ අනුව හෙක්ටයාර් එකකට මුං බීජ කිලෝග්‍රෑම් 25ක් බැගින් ගොවීන්ට නොමිලයේ ලබා දෙන අතර ඒ සඳහා එක් ගොවියෙකුට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය විසින් රුපියල් 25,000ක මුදලක් වැය කිරීමට නියමිතය.

මෙවර අතරමැදි කන්නයේදී අක්කර 63,750ක මුං ඇට වගා කිරීමට සැළසුම් කර තිබෙන අතර වාරිමාර්ග යටතේ අක්කර 40,000ක්, මහවැලි යටතේ අක්කර 16,250ක් සහ අන්තර් පළාත් යටතේ අක්කර 7,500ක මුං ඇට වගා කිරීමට සැලසුම් කර තිබේ.

දැනට අප රටේ වාර්ෂික මුං ඇට අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 20,000කි. මෙම අතරමැදි කන්නයේ මුං ඇට වගා කිරීම මගින් මෙම වර්ෂයේ දීම මෙරට මුං ඇටවලින් ස්වයංපෝෂිත තත්ත්වයට පත් කිරීමට හැකිවනු ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.

මෙතෙක් මෙරට වාර්ෂික මුං ඇට අවශ්‍යතාවයෙන් මෙට්‍රික් ටොන් 15,000ක් පමණ අප රටේ නිපදවා ගනු ලැබු අතර මෙට්‍රික් ටොන් 5000ක් පමණ ආනයනය කරනු ලැබීය.

එමෙන්ම ඉපනැල්ලේ මුං ඇට වගාව මෙවර අතරමැදි කන්නයේ දී ව්‍යාප්ත කිරීම සඳහා අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන ගොවි බාරකාර අරමුදල මගින් ලබා දෙන ලෙස අමාත්‍යවරයා අමාත්‍යාංශයේ ලේකම් ජනක ධර්මකීර්ති මහතාට උපදෙස් දුන්නේය.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් හදුනාගෙන ඇති පරිදි මෙරට මුං ඇට වගාව සඳහා වැඩිම විභවයක් සහිත දිස්ත්‍රික්ක වනුයේ හම්බන්තොට, මොනරාගල හා අම්පාර දිස්ත්‍රික්කයි. අනෙකුත් දිස්ත්‍රික්කවලද මුං ඇට වගා කළ හැකි නමුත් ඉපනැල්ලේ මුං ඇට වගාවට ඉතාමත් යෝග්‍ය වන්නේ ඉහත සඳහන් කළ දිස්ත්‍රික්ක වේ.

Exit mobile version