ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශයේ විධායක මට්ටමේ නිලධාරීන් සඳහා මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව පිරිනැමීමට ජපන් රජය එකඟතාව පළ කර තිබේ.
ජපාන රජය විසින් මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව සඳහා වන ජපාන ආධාර වැඩසටහන (JDS) යටතේ 2010 සහ 2017 වසරේ සිට පිළිවෙළින් ශාස්ත්‍රපති උපාධි සහ ආචාර්ය උපාධි හැදෑරීමේ අවස්ථා ශ්‍රී ලංකාවේ විධායක මට්ටමේ රාජ්‍ය අංශයේ නිලධාරීන්ට ප්‍රදාන පදනමක් මත පිරිනමන බව මුදල් අමාත්‍යාංශ්‍යය පවසයි. ඒ අනුව මේ වැඩසටහනේ ප්‍රථම කාර්ය රාමුව (2010-2013), දෙවැනි කාර්ය රාමුව (2014-2017) සහ තුන්වැනි කාර්ය රාමුව (2018-2021) පිළිවෙළින් 2013, 2017 හා 2021 වසරවලදී සාර්ථකව අවසන් කරන ලද අතර, සිව්වැනි කාර්ය රාමුව (2022-2025), 2022 වසරේදී ආරම්භ කර 2025 වසරේදී අවසන් කිරීමට නියමිතයි.
තවද මේ වැඩසටහන යටතේ අධ්‍යයන කටයුතු සාර්ථකව අවසන් කළ ශිෂ්‍යත්වලාභීන්ගේ වෘත්තීය සංවර්ධනය තවදුරටත් සිදු කිරීමේ අවශ්‍යතාව සලකා බැලීමෙන් අනතුරුව ආචාර්ය උපාධි පාඨමාලා හැදෑරීම සඳහා උපරිම වශයෙන් වාර්ෂිකව අවස්ථා දෙකක් පිරිනැමීමටද ජපාන රජය එකඟත්වය පළ කර ඇති අතර, ඒ අනුව මෙම ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මේ දක්වා පශ්චාත් උපාධි පාඨමාලා හැදෑරීම සඳහා අවස්ථා 225ක් (වසරකට 15 බැගින්) හා ආචාර්ය උපාධි පාඨමාලා හැදෑරීම සඳහා අවස්ථා 17ක් සලසා ඇත. ඒ අනුව මේ වැඩසටහන ක්‍රියාවට නැංවීම උදෙසා රුපියල් මිලියන 578ක (ජපන් යෙන් මිලියන 304) ප්‍රදානයන් ලබා ගැනීම වෙනුවෙන් දෙරට අතර හුවමාරු පත්‍ර ජපානයේ විදේශ කටයුතු ඇමැති කමිකාවා යෝකෝ හා ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු ඇමැති, ජනාධිපති නීතිඥ එම්.යූ.එම්. අලි සබ්රි මහත්වරුන් අතර, ජපානයේ ටෝකියෝ නගරයේදී අත්සන් කර තිබේ.
මේ ප්රදානය ලබා ගැනීමට අදාළව ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ ලේකම් කේ.එම්. මහින්ද සිරිවර්ධන සහ ජපාන රජය වෙනුවෙන් ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ආයතනයේ (JICA) ප්‍රධාන නියෝජිත යමාඩා ටෙට්සුයා මහත්වරුන් අදාළ ලියකියවිලිවලට අත්සන් තැබූ බවද මුදල් අමාත්‍යාංශය පවසයි.