Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනාට එරෙහිව නඩු 6ක්

ඩයනාට එරෙහිව නඩු 6ක්

ඩයනාට එරෙහිව නඩු 6ක්

ආගමන විගමන නීති උල්ලංඝනය කරමින් විදේශ ගමන් බලපත්‍රයක් සකස් කිරීම සහ ශ්‍රී ලංකාව තුළ වලංගු වීසා බලපත්‍රයක් නැතිව රැඳී සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී අඟහරුවාදා දිනයේ (11) නඩු හයක් පැවරීය.

මෙලෙස නඩු පවරනු ලැබුවේ අංක 531/27, කන්ට්‍රිබෙල්ට් බංගලාව, අමරාගොඩ පාර, හෝකන්දර උතුර පදිංචි ඩයනා ගමගේ හෙවත් නයනා සමන්මලී හෙවත් ඩයනා නටාශා කැකනදුර නමැත්තියටය.

නීතිපතිවරයාගේ උපදෙස් ප්‍රකාරව මෙම සැකකාරියට එරෙහිව චෝදනා 06ක් යටතේ නඩු 06ක් අධිකරණය හමුවේ ගොනු කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශන අංශය සැකකාරියට චෝදනා කියවා දීම සඳහා දිනයක් ලබා දෙන ලෙසට අධිකරණයෙන් ඉල්ලීය. මෙම සැකකාරියට එරෙහිව ආගමන විගමන පනත ප්‍රකාරව චෝදනා 06ක් යටතේ නඩු 06ක් ගොනු කිරීමට නීතිපතිවරයා උපදෙස් ලබාදුන් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නලින්ද හේරත් මහතා අධිකරණයට දැනුම් දුන්නේය.

හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය මෙම සිද්ධියට අදාළව ඇප මත සිටිමින් (11) අධිකරණය හමුවේ පෙනී සිටියාය.

නඩුව කැඳවූ (11) ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා රාජකාරී නිවාඩු ලබාගෙන තිබීම හේතුවෙන් සැකකාරියට එරෙහිව නඟා ඇති චෝදනා කියවාදීම ලබන අගෝස්තු 01 වැනි දින සිදු කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා පැමිණිල්ලට දන්වා සිටියේය.

වර්ෂ 2016ක් වූ ජූලි මස 14 වැනි දින හා වර්ෂ 2017ක් වූ ජූලි මස 16 වැනි දින අතර කාලය තුළදී ශ්‍රී ලංකාව තුළ වලංගු වීසා බලපත්‍රයක් නැතිව රැඳී සිටීම සැකකාරියට එරෙහි පළමු චෝදනාව ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ඉදිරිපත් කර ඇත.

වර්ෂ 2017ක් වූ ජූලි මස 07 වැනි දින සහ වර්ෂ 2018ක් වූ ජූලි මස 16 වැනි දින අතර කාලය තුළදීද වර්ෂ 2018ක් වූ ජූලි මස 17 වැනි දින සහ වර්ෂ 2019ක් වූ ජූලි මස 16 වැනි දින අතර කාලය තුළදීද වර්ෂ 2019ක් වූ ජූලි මස 17වැනි දින හා වර්ෂ 2020ක් වූ ජූලි මස 16 වැනි දින අතර කාලය තුළදීද වර්ෂක් වූ 2020 ජූලි මස 17 වැනි දින සිට සහ වර්ෂ 2020ක් වූ නොවැම්බර් මස පළමුවැනි දින අතර කාලය තුළදී වලංගු වීසා බලපත්‍රයක් නැතිව මෙරට රැඳී සිටීම යන චෝදනා යටතේ නඩු 06ක් ලෙස චෝදනා නඟා ඇත.

සැකකාරියට එරෙහිව නඟා ඇති හය වැනි චෝදනාව වන්නේ වර්ෂ 2014ක් වූ ජනවාරි මස 20 වැනි දින හෝ ඊට ආසන්න දිනයකදී බත්තරමුල්ලේ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තුවට අංක එන් 5091386 දරන විදේශ ගමන් බලපත්‍රය නිකුත් කිරීමට අදාළ අයදුම් පත්‍රයක් ඉදිරිපත් කිරීමෙන් ආගමන විගමන පනත යටතේ වරදක් සිදු කර ඇති බවටය.

සැකකාරියගේ රාජ්‍යතාන්ත්‍රික ගමන් බලපත්‍රය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් නඩු භාණ්ඩයක් ලෙස අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ අතර, එය අධිකරණ සේප්පුවේ තැබීමටද මෙහිදී මහේස්ත්‍රාත්වරයා අධිකරණ ප්‍රධාන රෙජිස්ට්‍රාර්වරයාට නියෝග කළේය.

Exit mobile version