Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

උපාධි පාඨමාලාවක් හැදෑරීමට සිසුන් 17,313 දෙනෙකුට රජය පොලී රහිත ණය

උපාධි පිරිනැමීමේ ආයතන 26ක් සඳහා විදේශීය ශිෂ්‍යයින් ඇතුළත් කර ගැනීමට අනුමැතිය

උපාධි පිරිනැමීමේ ආයතන 26ක් සඳහා විදේශීය ශිෂ්‍යයින් ඇතුළත් කර ගැනීමට අනුමැතිය

රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතනයක උපාධි පාඨමාලාවක් හැදෑරීමට සිසුන් 17,313 දෙනෙකුට රජය පොලී රහිත ණය ලබාදී ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය සදහන් කරයි.

රාජ්‍ය විශ්වවිද්‍යාලයකට ඇතුළත් වීමට වරම් නොලබන උසස් පෙළ සමතුන්ට රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතනයක උපාධි පාඨමාලාවක් හැදෑරීම සඳහා අවස්ථාව සලසා දීමේ අරමුණින් 2017 වර්ෂයේ අය-වැය යෝජනා අනුව පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කර ඇත. එම ණය යෝජනා ක්‍රමය යටතේ රු. 800,000ක (ලක්ෂ අටක) උපරිමයකට යටත්ව පොලී රහිත ණය මුදල් සිසුන්ට ලබා දෙයි.

මේ වන විට ශිෂ්‍ය කණ්ඩායම් හතක් යටතේ සිසු සිසුවියන් 17,313ක සංඛ්‍යාවකට අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමත රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතන 17ක උපාධි පාඨමාලා 100ක් හැදෑරීමට මෙමගින් පොලී රහිත ණය මුදල් සපයා ඇත. ඒ අනුව පළමු, දෙවන හා තෙවන අදියරයන්හි ශිෂ්‍ය කණ්ඩායම්වල සිසු සිසුවියන් 2353ක සංඛ්‍යාවක් සිය උපාධි පාඨමාලා සම්පූර්ණ කර ඇති අතර තුන් වන කණ්ඩායමේ ගෞරව උපාධි අපේක්ෂකයෝ සිය උපාධි පාඨමාලා හදාරා නිම කරමින් පසු වෙති.

එසේම හතර වන, පස් වන හා හය වන අදියරවල සිසුන් 10,258ක් වෙනුවෙන් ණය මුදල් ගෙවීම සිදු වෙමින් පවතින අතර හත් වන අදියර යටතේ සිසු සිසුවියන් 3,682කට රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතන 17ක උපාධි පාඨමාලා 91ක් බාධාවකින් තොර ව හැදෑරීමට මෙමගින් ණය ආධාර සපයා ඇත. එම ශිෂ්‍ය කණ්ඩායම සඳහා අදාළ සියලු අනුමැතීන් අධ්‍යාපන අමාත්‍යාංශය සහ මුදල්, ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය එක්ව ලබාදී ඇති අතර ඉදිරි සතිය තුළදී ලංකා බැංකුව හා මහජන බැංකුව සමග ණයලාභී ශිෂ්‍ය ශිෂ්‍යාවන් ණය ගිවිසුම්ගත වීම සිදු කිරීමටද නියමිතය.

2022 වර්ෂයේ උසස් පෙළ සමත් සිසු සිසුවියන් පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමයේ අට වන කණ්ඩායම ලෙස බඳවා ගැනීමට අදාළව රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතන වෙතින් ලබා දීමට යෝජිත පාඨමාලා සම්බන්ධ යෝජනාද මේ වන විට කැඳවා ඇති අතර ඒ සම්බන්ධයෙන් අදාළ පාර්ශ්වයන් සමග සාකච්ඡාවක් ඉදිරි සතියේදී මුදල්, ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේදී පැවැත්වීමට නියමිතව ඇත.

ඒ අනුව 2022 උසස් පෙළ සමතුන් සඳහා රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන උසස් අධ්‍යාපන ආයතනවල පාඨමාලා හැදෑරීමට පොලී රහිත ශිෂ්‍ය ණය ලබා දීමේ කටයුතු කඩිනමින් සිදු කිරීමට අවශ්‍ය කටයුතු සිදු වෙමින් පවතින බව ද අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් පවසයි.

Exit mobile version