Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

“කේම්බ්‍රිජ් දේශගුණික ගවේෂණය” ස්වයං අධ්‍යයන පාඨමාලාව මෙරට පාසල් සිසුන්ට නොමිලේ

“කේම්බ්‍රිජ් දේශගුණික ගවේෂණය” ස්වයං අධ්‍යයන පාඨමාලාව මෙරට පාසල් සිසුන්ට නොමිලේ

“කේම්බ්‍රිජ් දේශගුණික ගවේෂණය” ස්වයං අධ්‍යයන පාඨමාලාව මෙරට පාසල් සිසුන්ට නොමිලේ

දකුණු ආසියාවේ දියුණුතම, අනාගත කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයක් නිර්මාණය කිරීමේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ වැඩපිළිවෙළ යටතේ ශ්‍රී ලාංකික සිසුන් සඳහා “කේම්බ්‍රිජ් දේශගුණික ගවේෂණය” ස්වයං අධ්‍යයන පාඨමාලාව නොමිලේ හැදෑරීමට අවස්ථාව හිමිවී තිබෙනවා.

ඒ සඳහා ඕස්ට්‍රේලියාවේ ෆ්ලින්ඩර්ස් විශ්වවිද්‍යාලයේ මණ්ඩපයක් ශ්‍රී ලංකාවට ලබාදීමටද කටයුතු කර තිබෙන බව සඳහන්.

මේ අනුව 8 ශ්‍රේණියේ සිට 12වන ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලබන ශ්‍රී ලාංකික සිසුන් සඳහා මෙම ස්වයං අධ්‍යයන පාඨමාලාව භාෂා 3න්ම නොමිලේ හැදෑරීමට අවස්ථාව උදා කර දී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය වාර්තා කරන්නේ.

දේශගුණය සහ තිරසරභාවය පිළිබඳ අත්‍යවශ්‍ය දැනුමෙන් ශ්‍රි ලාංකික තරුණ පරපුර සන්නද්ධ කිරීම එහි අරමුණ වී තිබෙනවා.

කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලීය මුද්‍රණාලය සහ ඇගයීම් සේවයේ ගෝලීය අධ්‍යක්ෂිකා ක්‍රිස්ටීන් ඔස්ඩන් මහත්මිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී මේ පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙන අතර ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා සිය පූර්ණ සහය පළ කරන බවටද ඇය සහතික වී ඇති බව සඳහන්.

දේශගුණික සහ තිරසරභාවය යන විෂය පථයන්ගේ ඉදිරියෙන්ම සිටින කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ පර්යේෂණ අංශය වන “කේම්බ්‍රිජ් සීරෝ” හි (Cambridge Zero) විද්වතුන් විසින් මෙම පාඨමාලාව සම්පාදනය කර තිබෙන අතර පාඨමාලාව සාර්ථකව නිම කරන සිසුන්ට කේම්බ්‍රිජ් සහතිකයක් ලබාදීමටද නියමිතයි.

එමෙන්ම ශ්‍රී ලාංකීය සිසුන්ට ජාත්‍යන්තර මට්ටමේ උසස් අධ්‍යාපන අවස්ථා ඉහළ නංවමින් ඕස්ට්‍රේලියාවේ ෆ්ලින්ඩර්ස් විශ්වවිද්‍යාලය (Flinders University) සිය විශ්වවිද්‍යාල මණ්ඩපයක් ශ්‍රී ලංකාවේ ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.

ෆ්ලින්ඩර්ස් විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය කොලින් ස්ටර්ලින්ග් මහතාද පසුගියදා ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී ඊට අදාළ වැඩිදුර සාකච්ඡා පවත්වා තිබෙන බව සඳහන්.

ශ්‍රී ලංකාවේ පිහිටුවීමට යෝජිත මෙම නව මණ්ඩපය මඟින් ඉංජිනේරු විද්‍යාව, තොරතුරු තාක්‍ෂණය, ව්‍යාපාර කළමනාකරණය, මූල්‍යකරණය, අලෙවිකරණය සහ වෛද්‍ය විද්‍යාව යන ක්ෂේත්‍රවල උපාධි හා පශ්චාත් උපාධි පාඨමාලා පවත්වාගෙන යාමට නියමිත අතර එම ක්ෂේත්‍ර සඳහා වන අධ්‍යයන ප්‍රවේශ වැඩසටහන් සඳහාද කලාපීය වශයෙන් පවතින ඉල්ලුම සපුරාලීම මෙහිදී අපේක්ෂා කෙරෙන බවත් වාර්තා වේ.

Exit mobile version