ඉන්දියාවේ සහයෝගය යටතේ අමෙරිකානු ඩොලර් මිලියන 23ක ප්‍රජා සංවර්ධන ව්‍යාපෘති 65ක් මාලදිවයිනේ ආරම්භ කිරීමට නියමිත බව එරට ඉන්දීය මහකොමසාරිස් ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
මාලදිවයිනේ ප්‍රජා සංවර්ධන ව්‍යාපෘති 47ක් පසුගිය වසරේ නොවැම්බර් මාසය වන විට අනුමත කර තිබු බවත්, ඉන් අටක් සම්පූර්ණ කර තිබූ බවත් වැඩිදුරටත් වාර්තා වේ.
දෙරට අතර පසුගියදා උද්ගත වූ රාජ්‍යතාන්ත්‍රික අර්බුදය මධ්‍යයේ වුවද, එම ව්‍යාපෘති 65 සඳහා ඉන්දියාවේ සහයෝගය අඛණ්ඩව ලබා දෙන බව ද මාලදිවයිනේ ඉන්දීය මහකොමසාරිස්වරයා වැඩිදුරටත් සඳහන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
මාලදිවයිනේ විදේශ කටයුතු අමාත්‍යාංශය සහ එරට ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය අතර එම ව්‍යාපෘති නිරීක්ෂණය සම්බන්ධව පසුගියදා දෙදින හමුවක් පැවැති බවත්, අනතුරුව මහකොමසාරිස්වරයා විසින් ව්‍යාපෘති සම්බන්ධව ප්‍රකාශය සිදු කරනු ලැබූ බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

