Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ලංකාවේ වෙරළ තීර 28ක් “නිල්ධජ වෙරළ” තීර බවට පත්කිරීමට සැලසුම්

වෙරළ තීර 28ක් “නිල්ධජ වෙරළ” තීර බවට පත්කිරීමට සැලසුම්

වෙරළ තීර 28ක් “නිල්ධජ වෙරළ” තීර බවට පත්කිරීමට සැලසුම්

දෙස් විදෙස් සංචාරක ආකර්ෂණය දිනාගත් මෙරට වෙරළ තීර 28ක් නිල්ධජ වෙරළ තීර 28ක් බවට පත් කිරීමට අවධනය යොමුව ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

එහි මුල් අදියර යටතේ උණවටුන, බෙන්තොට, පාසිකුඩා හා ආරුගම්බේ යන වෙරළ තීරයන්වල නිල්ධජ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතයි. එම වෙරළ තීරයන් තෝරාගෙන ඇත්තේ සංචාරක අමාත්‍යාංශයේ උපදෙස් මතයි.

සංචාරක අමාත්‍යාංශය විසින් මේ වන විටත් රුපියල් මිලියන 32ක මුදලක් ආරුගම්බේ හා පාසිකුඩා නිල්ධජ වෙරළ තීර වැඩසටහන වෙනුවෙන් වෙන් කර තිබේ. අදාල මුදල් දැනටමත් දිස්ත්‍රීක් ලේකම්වරුන්ට මුදාහැර ඇති බව පවසන සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය, නියාමන ව්‍යාපෘතියක් වන පාසිකුඩා වෙරළ තීරය මෙම වසර අවසාන වන විට නිල්ධජ වෙරළ තීරයක් බවට පත් කිරීමට හැකිවනු ඇතැයිද පවසයි.

ශ්‍රී ලංකාවේ තෝරාගත් වෙරළ කලාප තුළ නිල්ධජ වෙරළ තීර නිර්ණායක සපුරාලීමෙන් සංචාරක ආකර්ෂණය වැඩි කිරීමට හැකිවන අතර එමගින් එම කලාපවල පරිසරය ආරක්ෂා කිරීම, සංචාරකයන් සදහා ප්‍රමාණවත් පහසුකම් සැපයීම, සංචාරකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම හරහා සංචාරක කර්මාන්තයේ දියුණුව සමගම අදාල කලාපයේ ජනතාවගේ ජීවන තත්ත්වයද ඉහළ නැංවීමටද හැකියාව ලැබේ.

වෙරළ කලාපයට පැමිණෙන සංචාරකයන්ගේ ආරක්ෂාව සහ සෞඛ්‍ය තත්ත්වය ආරක්ෂා කරගැනීම සදහා ක්‍රියාත්මක වන වැඩසටහනක් වන නිල්ධජ වෙරළ සහතික කිරීමේ වැඩසටහන ලෝකයේ සංචාරකයින් අතර ප්‍රචලිත පරිසර හිතකාමී සන්නාමයකි. නිල්ධජ සහතිකයක් ලබා දෙන්නේ ජලයේ ගුණාත්මකභාවය, පරිසර කලමනාකරණය, පරිසර අධ්‍යාපන තොරතුරු හා ජනතාවගේ ආරක්ෂාව යන ප්‍රධාන අංග 04 යටතේ වූ නිර්ණායක 32ක් සපුරාලීම මගිනි. වෙරළ හා සාගර පරිසරය ආරක්ෂා කරමින් දූෂණයෙන් තොරව පවත්වා ගැනීම මගින් සංචාරක හා ධීවර වැනි කර්මාන්තවල තිරසර බව ආරක්ෂා කිරීම නිල්ධජ ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණයි.

ලොව පුරා රටවල් 50කට වඩා වැඩි සංඛ්‍යාවක මෙම වැඩසටහන මේ වන විට ක්‍රියාත්මකයි. මෙම සහතික නිකුත් කරනුයේ ඩෙන්මාර්ක් පරිසර අධ්‍යන පදනමයි. නිල්ධජ වෙරළක් ලෙස ප්‍රකාශයට පත් කිරීම සදහා පදනමෙහි සාමාජිකත්වය සහිත ආයතනයක් මෙරට ස්ථාපනය කළ යුතුය.

ඒ අනුව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියට එම පදනමේ සාමාජිකත්වය ලබාගැනීමට පසුගිය සතියේ කැබිනට් අනුමැතිය හිමිවිය. ඊට අදාල කැබිනට් පත්‍රිකාව ඇමති මණ්ඩලයට ඉදිරිපත් කළේ ඇමති ප්‍රසන්න රණතුංග මහතා විසිනි. එමගින් වසර දෙකකට මීපා ආයතනයට ඩෙන්මාර්ක් පරිසර පදනමේ සාමාජිකත්වය ලබා ගැනීමට අනුමැතිය හිමිව තිබේ.

Exit mobile version