Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අමෙරිකාව තාවකාලිකව ඊශ්‍රායලයට බෝම්බ සැපයුම අත්හිටුවයි

අමෙරිකාව තාවකාලිකව ඊශ්‍රායලයට බෝම්බ සැපයුම අත්හිටුවයි

අමෙරිකාව තාවකාලිකව ඊශ්‍රායලයට බෝම්බ සැපයුම අත්හිටුවයි

නැව් මගින්, ඊශ්‍රායලයට යැවීමට සැලැසුම් කර තිබුණු බෝම්බ තොගයක්, තාවකාලිකව ඊශ්‍රායලයට යැවීම නැවැත්වීමට ඇමෙරිකා රජය තීරණය කර තිබේ. ඒ අනුව නැව් මාර්ගයෙන් ඊශ්‍රායලයට යැවීමට නියමිතව තිබූ කිලෝග්‍රෑම් 2000කට අධික බෝම්බ තොගයක් නැවැත්වීමට කටයුතු කළ බව අමෙරිකාවේ නිලධාරියකු ප්‍රකාශ කර ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කළේය.

ඒ, ඇමෙරිකාවේ විරෝධය මැද ඊශ්‍රායලය, ගාසා තීරයේ දකුණු දෙසින් පිහිටි රෆා නගරයට පහර දීමට සූදානම් වන බැවිනි.

රෆා යනු ගාසා තීරයේ දකුණු දෙසින්, ඊජිප්තුවට මායිම්ව පිහිටින නගරයයි. පසුගිය ඔක්තෝබර් 7 වැනිදා, ගාසා තීරයේ හමාස් සටන්කාමීන්, ඊශ්‍රායලයට කඩා වැදී කළ පහර දීමෙන් පසු, ඊශ්‍රායලය ගාසා තීරයේ හමාස් ඉලක්කවලට පහර දීම ආරම්භ කළේය.

ඊශ්‍රායල හමුදා ගුවනින් සහ ගොඩබිමින්, ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් පහර දෙද්දී, උතුරු දිග ගාසා තීරයේ සිටි පලස්තීන වැසියන් දකුණු දිග ගාසා තීරයේ රෆා නගරයට ගියේය. දැන් ගාසා වැසියන් මිලියන 1.3ක්, සරණාගතයන් ලෙස ජීවත් වන්නේ රෆා නගරයේය.

ඊශ්‍රායලය පවසා ඇත්තේ රෆා නගරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් මහා පරිමාණයෙන් ප්‍රහාර එල්ල කිරීමට තමන් සූදානම් බවය. මේ වනවිටත් ඊශ්‍රායල හමුදා විටින් විට රෆා නගරයට ප්‍රහාර එල්ල කිරීම සිදු කරයි.

ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහුගෙන් අවස්ථා කීපයකදී ඉල්ලා ඇත්තේ රෆා නගරයට පහර දීමෙන් වළකින ලෙසය. රෆා නගරයට පහර දුන්නොත්, මහා විනාශයක් සිදුවේවි යැයිද ඇමෙරිකන් ජනාධිපති බයිඩන් බිය පළ කර ඇත. ඊශ්‍රායලයට යැවීමට සූදානම් කළ බෝම්බ තොගය, තාවකාලිකව ඊශ්‍රායලය යැවීම නැවැත්වීමට ඇමෙරිකන් රජය තීරණය කළේ මේ නිසාය.

Exit mobile version