Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ව්‍යාජ වෛද්‍යවරුන් අත්අඩංගුවට ගන්න පොලීසියේ අවධානය

නවක වෛද්‍යවරුන් 475කට සීමාවාසික පුහුණුව සදහා පත්වීම් ලිපි

නවක වෛද්‍යවරුන් 475කට සීමාවාසික පුහුණුව සදහා පත්වීම් ලිපි

ව්‍යාජ බලපත්‍ර සහ සහතික පෙන්වමින් වෛද්‍ය මධ්‍යස්ථාන පවත්වාගෙන යනු ලබන සුදුසුකම් නොලත් වෛද්‍යවරුන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසියේ අවධානය යොමුවී තිබේ.

ඒ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සමග පැවැති සාකච්ඡාවකදීය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අතර සාකච්ඡාවක් පසුගියදා (03) පොලිස් මූලස්ථානයේදී පැවැත්වුණි.

ඊට එම සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය දර්ශන සිරිසේන මහතා ඇතුළු එහි සාමාජිකයන් පිරිසක් එක් වූ අතර පොලීසිය නියෝජනය කරමින් ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන් පිරිසක් එක්වුණි.

මෙහිදී වෛද්‍ය ක්ෂේත්‍රයේ පවතින ගැටලු කිහිපයක් සම්බන්ධයෙන් පොලීසියේ අවධානය යොමු කරනු ලැබීය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් වෛද්‍යවරුන් වෙත නිකුත් කර ඇති නිල ලාංඡනය සහිත ස්ටිකරය වාහනවල තබා ගනිමින් එය අවභාවිත කර ඇතැම් නීතිවිරෝධි ක්‍රියාකාරකම්වල නිරත වන පුද්ගලයින් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීම හා ව්‍යාජ සහතික ඉදිරිපත් කරමින් වෛද්‍යවරුන් ලෙස පෙනීසිටින පුද්ගලයින් සම්බන්ධයෙන් නෛතික ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳව මෙහිදී වැඩි අවධානයක් යොමු කර ඇත.

එමෙන්ම නිසි ප්‍රමිතියකින් තොර ඖෂධ, සුවඳ විලවුන් ඇතුළු විවිධ රූපලාවන්‍ය ආලේපන වර්ග ආදිය වෙළෙදාම් කිරීම සම්බන්ධයෙන් නෛතික ක්‍රියාමාර්ග ගැනීම, දිවයිනේ විවිධ පළාත්වල පිහිටි රෝහල්වල වෛද්‍යවරුන්ට පහරදීමේ සිද්ධීන් ඇතුළු විමර්ශන කිහිපයක් සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සහ මාර්ගවල දෛනිකව සිදුවන රිය අනතුරු අවම කර ගැනීම සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හා ඒකාබද්ධ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම ඇතුළු කරණු කිහිපයක් සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කර තිබේ.

Exit mobile version