Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රම්සි රසීක්ගේ මූලික අයිතිවාසිකම් කඩ වූ බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි, පොලීසියට අවවාද

රම්සි රසීක්ගේ මූලික අයිතිවාසිකම් කඩ වූ බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි, පොලීසියට අවවාද

රම්සි රසීක්ගේ මූලික අයිතිවාසිකම් කඩ වූ බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි, පොලීසියට අවවාද

රම්සි රාසික් නොහොත් මොහොමඩ් රාසික් මොහොමඩ් රම්සි නම් මුස්ලිම් ජාතික සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයා අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් (14) ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය වැදගත් තීන්දුවක් ලබා දී තිබෙනවා.

රට තුළ කොවිඩ් වසංගතය ව්‍යාප්ත වෙමින් පවතින සමයේ මුස්ලිම්වරුන්ට සිදු වූ අපහාසය සහ නොසැළකිලි හමුවේ ශ්‍රී ලංකා මුස්ලිම් ජනතාවට මතවාදී අරගලයක් දියත් කරන ලෙස ඉල්ලා ඔහු තැබූ ෆේස්බුක් සටහනක් මත 2020 අප්‍රේල් 9වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහුව අත්අඩංගුවට ගෙන තිබුණා.

එහිදී ඔහුව ඇප ලබානොදී මාස 5ක් සහ සතියක් වැඩි කාලයක් රඳවාගෙන සිටි අතර. අවසානයේදී මහාධිකරණය විසින් ඔහුට ඇප ලබා දී තිබෙනවා.

එමෙන්ම රම්සි රසීක් අත්අඩංගුවට ගැනීමෙන් තෙවසරකට පසු සැප්තැම්බර් 21වැනි දින ඔහුට විරුද්ධ චෝදනා සනාථ කර නොමැති බව දක්වමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඔහුව ICCPR යටතේ පවරා ඇති නඩුවකින් ඔහුව නිදහස් කර තිබුණා.

එහෙත්, රම්සි රසීක්ගේ ෆේස්බුක් සටහන වාර්ගික හෝ ආගමික වෛරයක් ඇති කර ඇති අතර එය අසමගිය සහ ප්‍රචණ්ඩත්වයට තුඩු දිය හැකි බවට මෙන්ම අත්අඩංගුවට ගැනීම සහ රඳවා තබා ගැනීම සාධාරණීකරණය කරන බවට මූලික අයිතිවාසිකම් නඩුවෙදී රජයේ අභිචෝදකයින් තර්ක කර තිබෙනවා.

කෙසේවෙතත්, විත්ති පාර්ශ්වය තර්ක කළේ, ඔහුගේ ෆේස්බුක් සටහන, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14(1)(අ) වගන්තිය මගින් සහතික කර ඇති භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස අනුව, ඔහුගේ මූලික අයිතිවාසිකමක් වන බවයි.

ඒ අනුව, රජයේ අභිචෝදකයින්ගේ තර්ක ප්‍රතික්ෂේප කළ අධිකරණය පෙත්සම්කරුගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට මෙහිදී තීරණය කර තිබෙනවා.

එම නඩු තීන්දුවේ වැඩි දුරටත් මෙසේ සඳහන් කර තිබෙනවා,

“අවාසනාවකට මෙන්, ප්‍රමාණවත් හේතුවක් නොමැතිව සහ ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන අයුරින් පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අයැදුම්පත් භාර ගැනීමේ සාමන්‍ය ස්ථානයක් මේ අධිකරණය බවට පත්ව ඇත. එවැනි අත් අඩංගුවට ගැනීම් බොහෝ විට නීතියට පටහැනි රඳවා තබා ගැනීමේ කාල සීමාවන් අනුගමනය කරයි. මෙවැනි නීතිවිරෝධී අත්අඩංගුවට ගැනීම් බොහෝමයක් හොඳින් සලකා බැලීමේදී එවා පොලිස් නිලධාරීන්ට අභිමතය පරිදි බලය ක්‍රියාත්මක කිරීමට අවසර දී නොමැති අවස්ථා බවත් එලෙස ක්‍රියා කිරීමට බලධාරී පුද්ගලයින් විසින් ඒත්තු ගන්වා ඇති බවත් අනාවරණය වේ.”

ඒ අනුව රම්සි රාසික්ට වන්දි වශයෙන් මෙම අයැදුම්පත්‍රය විභාග කිරීම සඳහා ඔහු දැරූ වියදමත් සමඟින් රුපියල් දශලක්ෂ හැට දහසක් ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය (14) නියම කළා.

අදාළ පොලිස් නිලධාරීන් වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙහි පරිගණක හා අධිකරණ වෝහාරික පුහුණු ඒකකයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක බී.එම්.ඒ.එස්.කේ. සේනාරත්නට (පළමු වගඋත්තරකරු) සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේඑ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඩබ්ලිව් තිලකරත්නට (දෙවන වගඋත්තරකරු) සිය මුදලින් රුපියල් 30,000 බැගින්ද රජයෙන් රුපියල් මිලියනක් සහ නඩු ගාස්තුද මසක් ඇතුළද ගෙවන ලෙස නඩු තීන්දුව නියෝග කර තිබෙනවා.

මේ අතර, මෙම අත්අඩංගුවට ගැනීම පිටුපස ඉහළ පෙලේ බලධාරීන් සිටින බවට ඇඟවෙන මුත් පෙත්සම්කරු ඉදිරිපත් කළ සාක්ෂි හිඟකම සහ පළවන වගඋත්තරකරු මෙම අත්අඩංගුවට ගැනීම හුදෙක් තමාගේ තීරණයක් බව පවසා සිටීම නිසා එම බලපෑම් පිළිබඳව තීරණයකට ඒමට නොහැකි වූ බවද නඩු තීන්දුවෙහි දැක්වෙනවා.

එසේ තිබියදීත්, ඉහළ පොලිස් නිලධාරීන් හෝ බලධාරීන් හෝ නිසි නීතිමය ප්‍රතිපාදනයක් නොමැති නම් එවැනි බලපෑම් පොලිස් නිලධාරීන්ට නොකළ යුතු බවද මෙම තීන්දුව මඟින් අවධාරණය කර තිබෙනවා.

නීතිඥ නුවන් බෝපගේ මහතා සහ චතුර වෙත්තසිංහ මහතා නීතිඥ රම්සි බචා මහතාගේ උපදෙස් මත පෙත්සම්කාර රම්සි රාසික් වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටියා.

Exit mobile version