Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ෆවු­සිට එරෙහි විනය පරීක්ෂණයක් පැවැත්වීම වළක්වන වාරණ හා අතුරු තහනම් නියෝගයක්

කපිලට ව්‍යාජ ඇපකරුවන් දුන් තැරැව්කරුවන්ට නියෝගයක්

කපිලට ව්‍යාජ ඇපකරුවන් දුන් තැරැව්කරුවන්ට නියෝගයක්

කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්. ෆවුසි මහතාට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වීම වළක්වන වාරණ හා අතුරු තහනම් නියෝගයක් කොළඹ දිසා අධිකරණය (10) සමඟි ජනබලවේගයට නිකුත් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්. ෆවුසි මහතා ඉදිපත් කළ කරුණු සම්බන්ධයෙන් සෑහීමකට පත් වෙමින් කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමඟි ජනබලවේගයේ නිලධාරීන් 5 දෙනකුට එරෙහිව මේ නියෝගය දුන්නේය.

2020 වසරේ අප්‍රේල් 25 දා පැවැති පාර්ලිමේන්තු මැතිවරණයට ඒ.එච්.එම්. ෆවුසි මහතා සමඟි ජනබලවේගයෙන් කොළඹ දිස්ත්‍රික්කයට තරග කළ අතර තේරී පත් නොවීය. පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා කොළඹ නගර සභාවට තරග කිරීමට පසුගිය ජනවාරි 24 දා ඉල්ලා අස්වීම නිසා සජබ මන්ත්‍රී ධුරයේ පුරප්පාඩුවක් ඇති විය. 1981 අංක 01 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 62 වැනි වගන්තිය අනුව තේරීම් භාර නිලධාරියා විසින් පුරප්පාඩු වූ ආසනයට අනුප්‍රාප්තිකයා වශයෙන් ලැයිස්තුවේ ඊළඟට සිටි ඒ.එච්.එම්. ෆවුසි මහතා මැතිවරණ පනතේ 64 (2) හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99 (13)(ආ) යටතේ 9 වැනි පාර්ලිමේන්තුවට නම් කරන ලැබීය.

ආර්ථික අර්බුදය විසඳීම සඳහා හා ණයබර අඩු කිරීම සඳහා ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාවට ෆවුසි මන්ත්‍රීවරයා පක්ෂව ඡන්දය භාවිත කළ අතර, ඉන් අනතුරුව සජබ නායකයා විසින් පැමිණිලිකරුට සජබ සාමාජිකත්වය අත්හිටුවන බව ලිපියකින් දන්වා ඇත.

සජබ සාමාජිකත්වය අත්හිටුවීම ව්‍යවස්ථා විරෝධි බව කියා සිටින පැමිණිලිකරු තමා කිසි විටකත් සමඟි ජනබලවේගයේ සාමාජිකත්වය නොගත් බවත් ඒ නිසා විත්තිකරුවන්ට තමන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ගයක් ගත නොහැකි බවත් කියා සිටී. ඒ අනුව නඩුව අසා අවසන් වන තෙක් පැමිණිලිකරුට එරෙහිව කිසිදු විනය පියවරක් ගැනීම වළක්වන ලෙස ඉල්ලා ෆවුසි මහතා කළ ඉල්ලිම පිළිගත් දිසා විනිසුරුවරයා සති 2ක කාලක් සඳහා මේ නියෝගය දුන්නේය.

පැමිණිලිකරුවන් වෙනුවෙන් නීතිඥ දිනේශ් විදානපතිරණ මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති නීතිඥ රෝලන්ඩ් පෙරේරා, ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා සමඟ චන්දිමාල් මෙන්ඩිස්, මෙහෙරාන් කලීම්, පුලස්ති රූපසිංහ යන නීතිඥවරු පෙනී සිටියහ.

Exit mobile version