Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මෛත්‍රී වන්දියෙන් රු. මි 15ක මුදලක් ගෙවයි

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මෛත්‍රීපාලගේ ප්‍රකාශය ගැන කඩිනම් විමර්ශනයක් සිදුකරන්නැයි නියෝග

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මෛත්‍රීපාලගේ ප්‍රකාශය ගැන කඩිනම් විමර්ශනයක් සිදුකරන්නැයි නියෝග

රුපියල් මිලියන 100ක වන්දියක් ගෙවන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කරන ලද නියෝගයට අනුව ඒ මහතා වන්දි වශයෙන් රුපියල් මිලියන 15ක මුදලක් ගෙවා ඇතැයි වාර්තා වෙයි.

ඒ, පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සිදුකළ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම වෙනුවෙනි.

මෛත්‍රීපාල සිරිසේන මහතා සිය නීතිඥවරුන් මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබෙන මෝසමේ සඳහන් කර තිබෙන්නේ, තමන්ට හිටපු ජනාධිපතිවරයා වශයෙන් විශ්‍රාම වැටුප් වශයෙන් මාසිකව රුපියල් 97,500/- ක්ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් දීමනා හැර රුපියල් 54,285ක මුදලක්ද ආදායම වශයෙන් ලැබෙන බවය.

ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියම කරනු ලැබූ රුපියල් මිලියන 100ක් වන්දි මුදල අතුරින් ඉකුත් ජුනි මස 28 වනදා රුපියල් මිලියන 10ක් සහ රුපියල් මිලියන 5ක් බැගින් රුපියල් මිලියන 15ක මුදලක් වන්දි වශයෙන් හානිපූර්ණ කාර්යාලයේ පවත්වාගෙන යන පාස්කු ප්‍රහාරයෙන් වින්දිතයින් බවට පත්වූවන්ගේ අරමුදලට ගෙවා ඇති බවත් එම මෝසමේ සඳහන් කර තිබේ.

ඉතිරි වන්දි මුදල් රුපියල් ලක්ෂ 85 බැගින් වාරික 10 කින් 2024 වසරේ ජුනි මස 30 වනදා සිට 2033 වසරේ ජුනි මස 20වනදා දක්වා කාලය තුළ වාර්ෂිකව ගෙවා අවසන් කිරීමට අවසර දෙන ලෙසත් හිටපු ජනාධිපතිවරයා සිය මෝසම මාර්ගයෙන් ඉල්ලා තිබේ.

ඉකුත් ජනවාරි මස 12 වනදා අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් 12කට අදාළ තීන්දු ප්‍රකාශයට පත්කර තිබුණි.

එම තීන්දුවට අනුව අදාළ පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස නම්කර සිටි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට රුපියල් මිලියන 100ක්ද, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන යන මහත්වරුන් විසින් රුපියල් මිලියන 75 බැගින් ද හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා විසින් රුපියල් මිලියන 50ක් ද, හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහතා විසින් රුපියල් මිලියන දහයක්ද වන්දි වශයෙන් ගෙවිය යුතු බව නියෝග කෙරුණි.

එම වන්දි මුදල් ගෙවීම සඳහා එදින පටන් මාස 06ක කාලයක් ලබාදීමටද ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීන්දුවෙන් නියෝග කර තිබුණි.

ඒ අනුව මේ වනවිට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් රුපියල් මිලියන 15ක්ද, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා විසින් රුපියල් මිලියනයක්ද, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් 1,725,588ක්ද හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහතා විසින් රුපියල් මිලියන 05ක මුදලක්ද වන්දි වශයෙන් ගෙවා තිබෙන බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.

ඊට අමතරව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන මහතා රුපියල් මිලියන 4.1ක වන්දියක්ද ගෙවා තිබෙන බව වාර්තා වෙයි.

තවද රජය වෙනුවෙන් මහා භාණ්ඩාගාරය විසින් රුපියල් මිලියනයක වන්දියක්ද ගෙවා තිබේ.

මෙම සියලු වන්දි මුදල් හානිපූරණය සඳහා වන කාර්යාලය වෙත බැරකර ඇති බවද වැඩිදුරටත් වාර්තා විය.

Exit mobile version