Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

වසර 48000ක් පැරණි සොම්බි වෛරසයක් සොයා ගැනේ

විද්‍යාඥ‍යන් පිරිසක් පැරණි “සොම්බි” වෛරසයක් සයිබීරියාවේ “Permafrost” කලාපයකින් අනාවරණය කර ගැනීමට පසුගිය දා සමත් වුණා. බොහෝ ජාත්‍යන්තර මාධ්‍ය මේ සිදුවීම සමාන කර තිබුණේ “Horror” චිත්‍රපටයක කතාවක් සැබෑ ජීවිතයේ සිදු වූ ආකාරයෙන්. වාර්තා වන අන්දමට වෛරසය වසර 48,000 ක් පමණ කලක් ශීත පාංශු ස්ථරයේ රැඳී සිට තිබෙනවා. ඔවුන් අලුත් වෛරස් කාණ්ඩ පහක් නියෝජනය කරන අතර, ලබා ගත් සාම්පල විශ්ලේෂණය කිරීමේ දී වයස්ගත ම වෛරසය වසර 48,500 ක් පැරණි බවත්, ළාබාලත ම වෛරසය වසර 27,000 ක් පමණ පැරණි බවත් සොයා ගැනුණා.

“Permafrost” යනු පොළොවට යටින් මිදුණු පස් තට්ටුවක් ලෙස සරල ව හඳුන්වන්නට පුළුවන්. උත්තර අර්ධගෝලයේ සහ ලෝකයේ වෙනත් ශීතාධික ප්‍රදේශවල මෙවැනි කලාප රැසක් හඳුනාගෙන තිබෙනවා.

“Permafrost” ස්ථරයක ව්‍යුහය සලකා බැලීමේ දී පස්, බොරළු, වැලි සහ අයිස් එකට බැඳුණු ස්වභාවයක් දක්නට ලැබෙන අතර, ඒවාට උඩින් ස්ථිර හෝ අස්ථිර අයිස් තට්ටුවක් තැන්පත් වීමට පුළුවන්. මින් අදහස් වන්නේ, මෙවැනි ස්ථාන වසර දහස් ගණනක් තිස්සේ වුවත් බාහිර පරිසරයට නිරාවරණය නොවී තිබීමට හැකි බව යි.

ගෝලීය උණුසුම හමුවේ මෙවැනි ස්ථානයකට බාධාවක් ඇති වුවහොත්, වසර දහස් ගණනක අතීතය එකවර පෘථිවි පෘෂ්ඨය වෙත නිරාවරණය වෙනවා. එලෙස නිරාවරණය වූ “Permafrost” කලාපයකින් මානව සංහතියට යම් අනතුරු ඇඟවීමක් දැන් නිකුත් කොට තිබෙනවා!

 

Exit mobile version