Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

නීති විද්‍යාලයේ විභාග ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් එපා – අධිකරණ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව

නීති විද්‍යාලයේ විභාග ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් එපා - අධිකරණ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව

නීති විද්‍යාලයේ විභාග ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් එපා - අධිකරණ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව

ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ විභාග ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් පැවැත්වීමට නීති අධ්‍යයන සභාව ගත් තීරණය අධිකරණ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී ප්‍රතික්ෂේප විය.

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගිය (10) වැනිදා රැස්විය.

ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ විභාග ඉංග්‍රීසි මාධ්‍යයෙන් පමණක් පැවැත්වීමේ අරමුණ කුමක්දැයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු නීති විද්‍යාල විදුහල්පති ආචාර්ය අතුල පතිනායක මහතාගෙන් මෙහිදී ප්‍රශ්න කළහ.

නීති ක්ෂේත්‍රයේ සිටින බොහෝ දෙනකු සිය වෘත්තිය නිපුණත්වය ප්‍රකට කරන බවත් කැමති භාෂාවකින් විභාගවලට පෙනී සිටීමේ නිදහස යටතේ ඔවුන් නීති විද්‍යාල විභාගවලට පෙනී සිට ඇති බවත් එහිදී මන්ත්‍රීවරු පැවසූහ.

තම මවු භාෂාවෙන් විභාගවලට මුහුණ දී සමත්වීම සිය වෘත්තිය නිපුණත්වය ප්‍රකට කිරීමට බාධාවක් නොවන බවද ඔවුහු ප්‍රකාශ කළහ.

ප්‍රාථමික අධිකරණවල කටයුතුවලදී ප්‍රධාන වශයෙන් සිංහල සහ දෙමළ ප්‍රධාන භාෂාව භාවිත කරන බව කාරක සභා සාමාජිකයෝ පෙන්වා දුන්හ.

ඉංග්‍රීසි භාෂාව භාවිත කරන්නේ අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය පමණක් බවත් උතුරු නැගෙනහිර පළාත්වල සහ දෙමළ සහ මුස්ලිම් ජනයා බහුතරයක් වෙසෙන ප්‍රදේශවල අධිකරණ කටයුතු දෙමළ භාෂාවෙන්ද, සිංහල බහුතරයක් සිටින ප්‍රදේශවල අධිකරණ කටයුතු සිංහල භාෂාවෙන්ද සිදුවන බව මන්ත්‍රීවරු පෙන්වා දුන්හ.

බොහෝ ග්‍රාමීය ප්‍රදේශවල ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනයේ අඩුවක් පවතින බවත් ඉංග්‍රීසි භාෂාවෙන් විභාග අනිවාර්ය කිරීම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බවත් මන්ත්‍රීවරු වැඩිදුරටත් පැවසූහ.

මේ අනුව, ශිෂ්‍යයකුට තම මූලික භාෂාව වන මවු භාෂාවෙන් විභාගයට මුහුණ දීමේ නිදහස අවශ්‍ය බව කමිටුවේ අදහස විය.

Exit mobile version