Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මානව හිමිකම් සංවිධාන 7ක් වසන්ත වහා නිදහස් කරන්නැයි ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරයි

මානව හිමිකම් සංවිධාන 7ක් වසන්ත වහා නිදහස් කරන්නැයි ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරයි

මානව හිමිකම් සංවිධාන 7ක් වසන්ත වහා නිදහස් කරන්නැයි ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරයි

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ අත්තනෝමතික ලෙස රඳවා තබා ගැනීම ශ්‍රී ලංකා රජය වහා අවසන් කළ යුතු බව මානව හිමිකම් සංවිධාන 7ක් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය, හියුමන් රයිට්ස් වොච් ඇතුළු මානව හිමිකම් සංවිධාන 7ක් විසින් නිකුත් කරන ලද එම නිවේදනයේ දැක්වෙන්නේ, ආණ්ඩුව අත්තනෝමතික ලෙස මෙම ශිෂ්‍ය ක්‍රියාකාරී නායකයා රඳවා තබාගැනීම දැඩි ලෙස මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් බවය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ 2022 අගෝස්තු 18 වනදා අත්අඩංගුවට ගත් මුදලිගේ රඳවාගෙන දින 150ක කාලයක් ගතවුවත් ඔහුට එරෙහිව කිසිදු ත්‍රස්තවාදී ක්‍රියාවක් නීතිය හමුවේ ඔප්පු කිරීමට බලධාරීන් අසමත්ව ඇති බව අදාළ නිවේදනයේ සඳහන් වේ.

එමෙන්ම මානව හිමිකම් සංවිධාන පෙන්වා දෙන්නේ, පැවැති විරෝධතාවලදී අත්අඩංගුවට ගත් ශිෂ්‍යයින් අතරින් ත්‍රස්තවාදය වැළැක්විමේ පනත යටතේ අත්අඩංගුවට ගත් සෙසු දෙදෙනා කිසිදු ත්‍රස්තවාදී චෝදනාවක් ඔප්පු කරගැනීමට නොහැකිව ඇප ලබා ඇති පසුබිමක මුදලිගේ තවමත් රඳවාගෙන තිබීම ප්‍රශ්න සහගත බවය.

ඒ අනුව ජාත්‍යන්තර මානම හිමිකම් සම්මුතීන් උල්ලංඝනය කරමින් රඳවාගෙන සිටින අන්තර් විශ්වවිද්‍යාලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ වහාම නිදහස් කිරීමට බලධාරීන් පියවර ගත යුතු බව මානව හිමිකම් සංවිධානය සිය නිවේදනය මගින් අවධාරණය කර තිබේ.

මේ අතර රක්ෂිත බන්ධනාගාරගතව සිටින අන්තර් විශ්විවද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ (17) අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන ආවේය. ඒ, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පවරා ඇති නඩුව යළි කැඳවූ අවස්ථාවේදීයි.

මේ අතර, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ නිදහස් කරන්නැයි බල කරමින් විශ්වවිද්‍යාල සිසුන් සහ සිවිල් සංවිධාන කිහිපයක් (16) විරෝධතාවක් පැවැත්විය.

විරෝධතාව අතරතුරදී ඒකාබද්ධ සංවර්ධන නිලධාරින්ගේ සංගමයේ ලේකම් ධම්මික මුණසිංහ ඇතුළු තිදෙනෙක් පොලිස් භාරයට ගෙන තිබුණි. එලෙස අත්අඩංගුවට ගනු ලැබූවේ අවුරුදු 52, 62 සහ 43 යන වයස්වල පසුවන පැපිලියාවල, පූගොඩ හා යක්කල යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය පැවසීය.

Exit mobile version