Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඉතිහාසයේ පළමු වරට සමස්ත නොපියවූ රාජ්‍ය ණය රු. බිලියන 25,000 ඉක්මවයි

2022 ඔක්තෝබර් වන විට ඉතිහාසයේ පළමු වරට සමස්ත නොපියවූ රාජ්‍ය ණය රු. බිලියන 25,000ක්

2022 ඔක්තෝබර් වන විට ඉතිහාසයේ පළමු වරට සමස්ත නොපියවූ රාජ්‍ය ණය රු. බිලියන 25,000ක්

2022 ඔක්තෝබර් මාසය අවසන් වන විට මධ්‍යම රජයේ සමස්ත නොපියවූ රාජ්‍ය ණය ප්‍රමාණය රු. බිලියන 25,000 සීමාව හෙවත් රු. ට්‍රිලියන 25 සීමාව ඉක්මවා ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දේ.

මහ බැංකුවට අනුව 2022 ඔක්තෝබර් මාසය අවසන් වන මධ්‍යම රජයේ මුළු ණය ප්‍රමාණය රු. බිලියන 25,210.7ක් ලෙසින් වාර්තා වේ. මෙලෙස ශ්‍රී ලංකා මධ්‍යම රජයේ සමස්ත නොපියවූ රාජ්‍ය ණය ප්‍රමාණය රු. ට්‍රිලියන 25 සීමාව ඉක්මවා ගොස් ඇත්තේ ඉතිහාසයේ පළමු වරටය. 2022 සැප්තැම්බර් මාසය අවසන් වන විට මෙම අගය දැක්වුණේ රු. බිලියන 24,945.9ක් ලෙසයි.

මෙලෙස 2022 ඔක්තෝබර් මාසයේ දී මධ්‍යම රජයේ ණය ඉහළ යාමට හේතු වී ඇත්තේ දේශීය ණය සැලකිය යුතු ලෙස ඉහළ යාමයි. 2022 සැප්තැම්බර් මාසය අවසානයේ දී රු. බිලියන 13,345.6ක් ලෙසින් සටහන් වූ මධ්‍යම රජයේ දේශීය ණය ප්‍රමාණය 2022 ඔක්තෝබර් මාසය වන විට රු. බිලියන 13,596.9ක් දක්වා රු. බිලියන 251.3කින් වැඩි වී ඇත.

මෙම මාසය තුල දී මධ්‍යම රජයේ සමත් විදේශීය ණය ප්‍රමාණය රු. බිලියන 11,600.3 සිට රු. බිලියන 11,613.8ක් දක්වා රු. බිලියන 13.5කින් සුළු වශයෙන් ඉහළ ගොස් තිබේ.

මධ්‍යම රජයේ සමස්ත නොපියවූ රාජ්‍ය ණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් මෙසේ කියා සිටී.

2014 වසරේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ප්‍රකාශයට පත් කරන ලද රාජ්‍ය මූල්‍ය සංඛ්‍යාලේඛන සම්පාදනය කිරීමේ මාර්ගෝපදේශවලට අනුව, අනේවාසිකයන් සතුව ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කරවල ආයෝජන සහ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරවල ආයෝජන විදේශීය ණය යටතේ වර්ගීකරණය කර ඇති අතර, නේවාසිකයන් සතු ශ්‍රී ලංකා බැඳුම්කරවල ආයෝජන සහ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරවල ආයෝජන දේශීය ණය යටතේ වර්ගීකරණය කර ඇත.

මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය විසින් 2022 අප්‍රේල් 12 වැනි දින ශ්‍රී ලංකාවේ විදේශ ණය සේවාකරණය පිළිබඳ අන්තර්කාලීන ප්‍රතිපත්තිය ඉදිරිපත් කිරීමෙන් පසුව රජය විසින් ගෙවීමට නියමිතව තිබූ යම් විදේශ ණය සේවාකරණ ගෙවීම්, රාජ්‍ය ණය සම්බන්ධ දත්ත සකස් කිරීමේ දී ගැලපුම් ගතකර නොමැති නිසා 2022 අප්‍රේල් මාසයෙන් පසු මධ්‍යම රජයේ නොපියවූ ණය ප්‍රමාණය පිළිබඳ දත්ත තාවකාලික වේ. ශ්‍රී ලංකාවේ විදේශ ණය සේවාකරණය පිළිබඳ අන්තර්කාලීන ප්‍රතිපත්තියට අනුව, බලපෑමකට ලක්වූ විදේශ ණය කාණ්ඩවල ප්‍රාග්ධනයට එකතු කළ යුතු, ගෙවීමට නියමිත පොලී ගෙවීම්, මෙලෙස ගැලපුම් සිදුකර නොමැති ණය සේවාකරණ ගෙවීම්වලට අයත් වේ.

Exit mobile version