Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ගංජා නීතිගත කිරීම වළක්වාලීමට නොපමාව ක්‍රියාත්මක වන්න – ඕමල්පේ සෝභිත නාහිමියෝ

ගංජා වගාවට අවසර දුනහොත් එය මාරාන්තික කර්මාන්තයක් ලබන විශාල ජයග්‍රහණයක් වන නිසා අනාගත පරපුරේ යහපත උදෙසා එය වැලැක්වීමට නොපමාව ක්‍රියාත්මක වන ලෙස සියලුම මහනායක හිමියන්ගෙන් ඉල්ලමින් රාමඤ්ඤ මහා නිකායේ දක්‍ෂිණ ශ්‍රී ලංකාවේ ප්‍රධාන සංඝ නායක ආචාර්ය ඕමල්පේ සෝභිත නාහිමියෝ ලිපියක් යොමුකර තිබේ.

ගංජා නීතිගත කිරීම වළක්වාලීම මගින් අනාගතයේ ඇතිවිය හැකි ව්‍යසන රැසක් වළකාගත හැකි බවත් එය නීතිගත කළ හොත් නැවත හැරවිය නොහැකි මෙන්ම වර්තමානයේ ගංජා නීතිගත කරනොමැති තත්වයක් තුළද බරපතල ගැටලු රැසක් උද්ගත වී ඇති බවත් ඕමල්පේ සෝභිත නාහිමියෝ එම ලිපියෙන් පවසති.

දුම්කොළ හා මද්‍යසාර හානිය අවම කිරීම සඳහා 2006 වසරේදී පාර්ලිමේන්තුවේදී සම්මත කළ ‘දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරි පනත’ ඉදිරිපත් කළ අවස්ථාවේදී ද එය වැලැක්වීමට අදාල සමාගම් සහ සහචර සංවිධාන ක්‍රියාකළ ආකාරය මෙවැනි පනතක් සම්මත වුවහොත් නැවත හැරවිය නොහැකි බවට ආසන්නතම උදාහරණය බව කියන ඕමල්පේ සෝභිත නාහිමියෝ ගංජා වගාව නීතිගත කිරීමට උත්සහ කරන පුද්ගලයන් සමාජය තුළ පතුරුවා ඇති වැරදි තොරතුරු පිළිබඳව සත්‍ය තත්වය පැහැදිළි කළ යුතු බවද සඳහන් කරති.

ගංජා හිතකර ද්‍රව්‍යයක් බවට සාමාන්‍ය සමාජය තුළ මතයක් ගොඩනැගීමට බුද්ධාගම, කතෝලික සහ හින්දු යන ආගම්ද යොදාගෙන ඇති බවත් ඇඹිලිප්ිය ප්‍රදේශ ආශ්‍රිත අක්කර 10,000ක මූලික පියවර ලෙස කංසා වගා කිරීමට සැලසුම්කර ඇති බව දැනගන්නට තිබෙන බවත් එම ලිපියේ වැඩි දුරටත් සඳහන් වේ.

එම ලිපියේ පිටපත් කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඇතුළු පාර්ශව 13කටද යොමුකර තිබේ.

Exit mobile version