Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ශ්‍රී ලංකාවේ මි. 3.4ක ජනතාවකට ආහාර, ඖෂධ ඇතුළු ජීවිත ආරක්ෂක ආධාර අවශ්‍යයි – එක්සත් ජාතීන්ගේ සංවිධානය

මෙරට මිලියන 3.4ක ජනතාවකට ආහාර, ඖෂධ ඇතුළු ජීවිත ආරක්ෂක ආධාර අවශ්‍ය වී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

නිදහසෙන් පසු ශ්‍රී ලංකාවේ දරුණුතම ආර්ථික අර්බුදය මේ වන විට පවතින බව නිවේදනයන් නිකුත් කරමින් එම සංවිධානයේ මානූෂීය කටයුතු සම්බන්ධීකරණ කාර්යාලය පෙන්වා දී තිබේ. ශ්‍රී ලංකා රජයේ ඉල්ලීමකට අනුව එක්සත් ජාතීන්ගේ සංවිධානය සිය ඒකාබද්ධ මානූෂීය අවශ්‍යතා සහ ප්‍රමුඛතා සැලැස්ම සංශෝධනය කිරීමටද පියවර ගෙන ඇත.

පසුගිය ජුනි මාසයේ සිට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිලධාරීන් සහ රාජ්‍ය නොවන සංවිධාන රටතුළ පවතින ආහාර අර්බුදයේ බලපෑම සහ ඖෂධ හිඟයේ බලපෑම සමනය කිරීම සඳහා මෙම ඒකාබද්ධ සැලැස්ම ක්‍රියාත්මක කර තිබුණි. ඒ අනුව වඩාත් අවදානමකට ලක්විය හැකි මිලියනයකට අධික ජනතාවක් සඳහා මානූෂීය ආධාර ලබාදී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

පවතින තත්ත්වය හමුවේ මෙම ආධාර වැඩසටහන වසර අවසන් වනතුරු ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය බවත් ඒ සඳහා ඩොලර් මිලියන 150කට ආසන්න මුදලක් රැස්කිරීමටද එක්සත් ජාතීන්ගේ සංවිධානය සැලසුම් කර තිබේ.

ලෝක බැංකු වාර්තාවලට අනුව ජාතික දරිද්‍රතා අනුපාතය සියයට 25.6 දක්වා ඉහළ ගොස් ඇති බව පෙන්වා දෙන එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ ඔක්තෝබර් මාසයේදී සියයට 85.6ක ආහාර උද්ධමනයක් පැවති බවය. මේ හේතුවෙන් අවදානමකට ලක්විය හැකි සහ ආහාර අනාරක්ෂිත පුද්ගලයින් මිලියන 2.4ක් සඳහා ක්ෂණික, ආහාර ආධාර ලබාදීමටත් මිලියන 1.5ක් වන ගොවීන් සඳහා පොහොර ඇතුළු ආධාර ලබාදීමටත් සැලසුම් කර ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය සිය නිවේදනය මගින් වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

Exit mobile version