Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා පෙත්සමක්

ජනාධිපතිගේ ධුර කාලය ගැන පෙත්සම නඩු ගාස්තුවට යටත්ව නිෂ්ප්‍රභ කරයි

ජනාධිපතිගේ ධුර කාලය ගැන පෙත්සම නඩු ගාස්තුවට යටත්ව නිෂ්ප්‍රභ කරයි

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

ඇඟලුම් කම්හලක සාමාන්‍යාධිකාරිවරයෙක් වශයෙන් කටයුතු කරන හෝමාගම ප්‍රදේශයේ පදිංචි යූ එස් රණවීර නැමැත්තෙකු විසින් පෙත්සම ඉදිරිපත් කර ඇත. එහි වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම්කර තිබුණි.

පෙත්සම්කරු කියා සිටින්නේ තමන් බදු ගෙවන අයකු බවත් රජය විසින් මේ මස 21 වනදා දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කළ බවය. යෝජිත පනත් කෙටුම්පත තුළින් යම් පුද්ගලයකු මාසිකව බදු ගෙවිය යුතු ආදායම් සීමාව රුපියල් දෙලක්ෂ පනස් දහසේ සිට රුපියල් ලක්ෂයක් දක්වා අඩු කර ඇති බවත් පෙත්සමේ සඳහන් කර තිබේ.

මේ හරහා ගෙවාගත නොහැකි වන ආකාරයේ බදු බරක් මහජනයා මත පැටවෙන බවත් ඒ තුළින් මහජනතාව දැඩි ආර්ථික අර්බුදයකට ලක්වන බවත් පෙත්සමෙන් පෙන්වා දී තිබේ. මේ හරහා අපනයන, දේශීය කර්මාන්ත, සංවර්ධන කටයුතු වැනි ක්ෂේත්‍ර අධෛර්යමත් කිරීමක් සිදුවන බවත් පෙත්සමෙන් පෙන්වා දී තිබේ.

යෝජිත පනත් කෙටුම්පතේ අන්තර්ගත ප්‍රතිපාදනවලින් රජය විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ සහතික කිරීමට බැඳී සිටින මහජනයාගේ සුබසාධනය ප්‍රවර්ධනය කිරීම, සමාජ ආරක්ෂාව තහවුරු කිරීම වැනි කාරණා බරපතළ ලෙස උල්ලංඝනය කර තිබෙන බවත් පෙත්සම්කරු පෙන්වා දෙයි.

අදාළ පනත් කෙටුම්පතේ අන්තර්ගතය 15,16,22,29,36 සහ 39 යන වගන්ති මුළුමනින්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත් පෙත්සමේ සඳහන් කර තිබේ.

එබැවින් මෙම පනත් කෙටුම්පත සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් අනුමත වී එය ජනමත විචාරණයකින් ද අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙස පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.

Exit mobile version