Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාව සිමෙන්ති හෝ සිමෙන්ති ආශ්‍රිත කිසිදු නිෂ්පාදනයක් මෙතෙක් සිදු කරලා නෑ; කෝටි 18ක පාඩුවක්

සිමෙන්ති මිළ පහළට

සිමෙන්ති මිළ පහළට

ලංකා ඛනිජ තෙල් තොග පර්යන්ත රාජ්‍ය සමාගමට ලබාදී ඇති ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාවේ කන්කසන්තුරේ තෙල් ටැංකි දෙක සහ නළ පද්ධති සඳහා 2010 වර්ෂයේ සිට පසුගිය වර්ෂයේ (2021)දෙසැම්බර් 31 වෙනිදා දක්වා ලැබිය යුතු රුපියල් දහඅට කෝටි හතළිස් හය දහසකට වැඩි බදු කුලී ආදායමක් අයකරගැනීමට සංස්ථාව මේ දක්වා අපොහොසත්ව ඇතැයි ජාතික විගණන කාර්යාලයේ වාර්තාවක සඳහන් වේ.

සංස්ථාවේ තෙල් ටැංකි දෙක සහ නළ පද්ධති ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමට ලබාදී ඇත්තේ ලිඛිත ගිවිසුමකට එළඹීමෙන් තොරව බව ජාතික විගණන කාර්යාලය පවසයි. මෙම මුදල හැකි ඉක්මනින් අයකර ගැනීමට ක්‍රියා කළ යුතු බව විගණන අංශ නිර්දේශ කර ඇත.

ගැටළුව නිරාකරණය කර ගැනීමට කටයුතු කරමින් සිටින බවත් රටේ පවතින තත්වය හේතුවෙන් මෙම මුදල ලබා ගැනීම මේ අවස්ථාවේදී ප්‍රායෝගිකව කළ නොහැකි තත්වයක් උදාවී ඇති බවත් සංස්ථාවේ කළමනාකාරීත්වය ජාතික විගණන කාර්යාලයට දන්වා ඇත.

මේ අතර ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාව පසුගිය වර්ෂයේදී රුපියල් හය කෝටි පනස් දෙලක්ෂයකට වැඩි ආදායමක් උපයා ගෙන ඇතත් සංස්ථාවට අනියුක්ත නිලධාරීන් 13 දෙනකු සඳහා වැටුප් හා දීමනා ඇතුළුව පරිපාලන වියදම් ලෙස රුපියල් දෙකෝටියකට ආසන්න වටිනා වියදමක් දරා ඇතැයිද එම කාර්යාලය සඳහන් කරයි. එම වියදම මුළු බදු කුලී ආදායමෙන් සියයට 31ක් බව විගණන නිලධාරීහු පෙන්වා දෙති.

සංස්ථාව සිමෙන්ති හෝ සිමෙන්ති ආශ්‍රිත කිසිදු නිෂ්පාදනයක් මෙතෙක් සිදු නොකරන බවත් සංස්ථාව මේ දක්වා ලබන්නේ ආයතනය සතු අක්කර 5164ක්වූ අරුවක්කාලු හුණුගල් නිධිය බදු දීම, පලාවි පිහිටි අක්කර 12ක ඉඩම බදු දීම හා කොල්ලුපිටියේ පිහිටි පර්චස් 89ක ඉඩම රථගාලක් පවත්වාගෙන යෑමෙන් ලබන ආදායම පමණක් බවත් එම විගණන වාර්තාව වැඩිදුරටත් සඳහන් කරයි.

මේ තොරතුරු සඳහන්වී ඇත්තේ ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාව සම්බන්ධයෙන් නිකුත් කෙරුණු ජාතික විගණන කාර්යාලයේ වාර්තාවේය.

Exit mobile version