Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රනිල් වික්‍රමසිංහ ධූරයෙන් ඉවත්කිරීම සඳහා අරගලය අඛණ්ඩව ඉදිරියට – ගාලු මුවදොර අරගලකරුවෝ

රනිල් වික්‍රමසිංහ ධූරයෙන් ඉවත්කිරීම සඳහා අරගලය අඛණ්ඩව ඉදිරියට - ගාලු මුවදොර අරගලකරුවෝ

රනිල් වික්‍රමසිංහ ධූරයෙන් ඉවත්කිරීම සඳහා අරගලය අඛණ්ඩව ඉදිරියට - ගාලු මුවදොර අරගලකරුවෝ

ජනාධිපතිධූරයට රනිල් වික්‍රමසිංහ මහතා පත්කරගැනීම මහජන මතයට විරුද්ධ බවත්, ඔහු ධූරයෙන් ඉවත්කිරීම සඳහා අරගලය අඛණ්ඩව ඉදිරියට ගෙන යන බවත් ගාලු මුවදොර අරගලකරුවෝ පවසති.

රටේ ජනතාව විසින් පරාජය කර ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණි රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා ලෙස පිළිගැනීමට නොහැකි බව ගාලු මුවදොර අරගලකරුවන් නියෝජනය කරමින් අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු, වසන්ත මුදලිගේ මහතා පැවසීය. ඔහු මේ බව පැවසුවේ ගාලුමුව‍දොර ගෝඨා ගෝ ගම අරගලභූමියේදී (20) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

ලක්‍ෂ 69ක් ඡන්ද ගත් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජෙට් යානයකින් මාලදිවයිනට පැන යන තත්වයට තරමට පත්කළේ මහජනතාව බවත්, පහරදී පන්නා දමා හෝ අත්අඩංගුවට ගැනීම් මගින් අරගලය අවසන් කළ නොහැකි බවත් මුදලිගේ මහතා සඳහන් කළේය.

ගෝඨාභය රාජපක්‍ෂ මහතා රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධූරයට පත්කළේ තමන්ගේ පවුල, හොරවැඩ ආරක්‍ෂා කරගැනීමට බවත්, ඔහු අවස්ථා 6ක් අගමැති වී ජනතාව වෙනුවෙන් කිසිත් නොකළ, මහබැංකුව කොල්ල කෑ, ඡන්දයකින් පාර්ලිමේන්තුවට එන්නට නොහැකි වූ අයකු බවත් කී මුදලිගේ මහතා අරගලය ඔහු එලවීම සඳහා අඛණ්ඩව ඉදිරියට ගෙනයන බවත් පැවසීය. පාර්ලිමේන්තුව තුළ ජනතා මතය නියෝජනය නොවන බවත්, අරගලකරුවන් විසින් ලබාදුන් ක්‍රියාකාරී සැලැස්මට පිටින් ගියොත් ඉදිරි සති දෙක තුන තුළ ආණ්ඩුවට වන දේ බලාගත හැකි බවත් ඔහු කීවේය.

අරගලකරුවන් නියෝජනය කරමින් ටැම්පිටියේ සුගතානන්ද හිමියන්, ජීවන්ත පීරිස් පියතුමා, නීතීඥ නුවන් බෝපගේ, ළහිරු වීරසේකර, රංගන ශිල්පී ජගත් මනුවර්ණ, දුමිඳු හෙට්ටිආරච්චි ඇතුළු පිරිසක් මෙම මාධ්‍ය හමුවට සහභාගී වූහ.

Exit mobile version