Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ජනතාවගේ විශ්වාසය තිබෙන ස්ථාවර දේශපාලන ක්‍රමවේදයක් රට තුළ පැවතීම අවශ්‍යයි – මහ බැංකු අධිපති

ආර්ථික අර්බුදයට මහ බැංකු අධිපති කියන හේතුව

ආර්ථික අර්බුදයට මහ බැංකු අධිපති කියන හේතුව

ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා මේ වන තෙක් අනුගමනය කර ඇති ක්‍රියාමාර්ග එලෙසම ක්‍රියාත්මක නොකර වෙනත් අලුත් අත්හදා බැලීම්වලට යොමු වීමෙන් විශාල කඩා වැටීමකට ලක් විය හැකි බවත් ජනතාවගේ විශ්වාසය තිබෙන ස්ථාවර දේශපාලන ක්‍රමවේදයක් රට තුළ පැවතීම අවශ්‍ය බවත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පැවසීය.

පසුගිය ආණ්ඩු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කර ප්‍රතිසංස්කරණ කර ඇති බවත් එසේම, මේ වන තෙක් අනුගමනය කර ඇති ක්‍රියාමාර්ග එලෙසම ක්‍රියාත්මක කිරීම නව අණ්ඩුවේ වගකීම බවත් වීරසීංහ මහතා පැවසීය.

නව ආණ්ඩුවක් පත්වූ සැණින් පවතින අර්බුදවලට විසඳුමක් නොලැබෙන අතර ජනතාවට මේ පිළිබඳව පැහැදිලි කර ඔවුන් සමග ඉදිරියට යාමට නව රජය කටයුතු කළ යුතුව ඇතැයි පසුගියදා රූපවාහිනී නාලිකාවක සාකච්ඡාවකට සහභාගි වෙමින් ඔහු සඳහන් කළේය.

මේ වන විට අවශ්‍ය ප්‍රමාණයට විදේශ විනිමය නොමැති නිසා තෙල්, බෙහෙත් රටට ගෙන්වීමට නොහැකි බවත් විදෙස් විනිමය ආදායම සහ වියදම කළමනාකරණය කරගෙන යාමෙන් යම් මට්ටමක සිටිය හැකි නමුත් එය දිර්ඝකාලීන විසඳුමක් නොවන බවත් ඔහු පැවසුවේය.

රට මේ වන විටත් ප්‍රබල ආර්ථික අර්බුදයක පවතින අතර මෙවැනි අවස්ථාවක ඉතා ඉක්මනින් ආර්ථික ප්‍රතිපත්ති හා තීන්දු තීරණ ගත යුතු බවත් එහි ප්‍රධානම පාර්ශ්වය වන්නේ රජය හා පාර්ලිමේන්තුව වන නිසා මේ ආර්ථික අර්බුදයෙන් එළියට පැමිණිමට නම් දේශපාලනයේ ස්ථාවරයක් රටට අත්‍යවශ බව ත් හෙතෙම කීය.

ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කර සර්ව ආර්ථික ස්ථායිකරණයට වැඩපිළිවෙළක් කරගෙන යන බැවින් පවතින තත්ත්වය අනුව මෙය එකම මාර්ගය බව ඔහු පැවසීය.

රටේ ණය බර වැඩිවීම නිසා ණය ප්‍රතිව්‍යුහගත කිරීම කරන අතර මේ ක්‍රියාමාර්ග ඉදිරියට කරගෙන යාමට ආණ්ඩුවක් පැවැතිය යුතු බවත් එසේ නොමැතිව ප්‍රමාදවීමෙන් ආර්ථිකය යථා තත්ත්වට පත් කිරීමට හා ජනතාවට විඳීමට සිදු වන දුක්ගැහැට දිගු වන බවත් මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේය.

Exit mobile version