Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

‘ගෝඨා ගෝ හෝම්’ සහ තරුණ පරපුරේ සවිය

මෙතැන විශාල සරදමක් තිබේ. ගෝඨාභයට ගෙදර යන්නැයි කීමෙන් පාරේ සිටින මහජනතාව අද උදක්ම ඉල්ලා සිටින්නේ, ඔහු ජනාධිපති තනතුරෙන් ඉල්ලා අස් විය යුතු බවයි. ඊට අමතරව, ඔහු තමාගේ ගෙදර වන ඇමරිකාවට යා යුතු යැයි කියන අදහසත් එයින් ගම්‍ය කෙරේ. මේ අතර, විධායක ජනාධිපති ක්‍රමය වහා අහෝසි කළ යුතු බව විපක්ෂ නායකවරයා ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කොට තිබුණි. විධායක ජනාධිපති ක්‍රමය උපත ලැබුවේ ඇමරිකාවේ ය. ගෝඨා සමග එම ක්‍රමයත් ගෙදර යා යුතු බව කියන විට, ඒ දෙන්නාම යා යුත්තේ එකම රටකට වීමත්, මන පිනවන සරදමකි.

මේ වන විට මුළු රටම වීදි උද්ඝෝෂණ මාලාවකින් ඇළලී ගොසිනි. දැන් මාසයක, දෙකක කාලයක් තිස්සේ නගරබදව සහ විශේෂයෙන් මධ්‍යම පංතිකව සහ සංවිධිතව පැවත්වෙමින් තිබුණු නිහඬ උද්ඝෝෂණ ක්‍රියාවලියක් මිරිහානෙන් අලුත් මඟකට පිවිසුණි. මෙතෙක් කල් නිහඬව සිටීමේ වාඩුවත් පිරිමසාගැනීමට මෙන් එදා විරෝධයට එක් වූ ජනතාව විශාල ශබ්දයක් සහ වෙනස් ගතිකත්වයක් ඊට එකතු කළෝය. එතැන් සිට, තවදුරටත් එය, නගරයට හෝ මධ්‍යම පංතියට පමණක් සීමා වන සංවිධිත අරගලයක් නොවුණි. මුළු රටම, සමස්ත ජනතාව ස්වීයව ඒකරාශී කරගන්නා තනි අරගල භූමියක් බවට පත්වුණි. අද වන විට එහි ප්‍රධාන පාර්ශ්වකාර භූමිකාව දරන්නේ මේ රටේ තරුණ පරම්පරාවයි. එය, මීට කලින් දීර්ඝ කාලයක් තිස්සේ විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රජාවට අයත් තරුණ පරම්පරාවේ විරෝධතා රැල්ලෙන් මුළුමණින් වෙනස් තරුණ සහභාගීත්වයකි. විශ්වවිද්‍යාල පරම්පරාව මෙහෙයවනු ලැබුවේ සහ ලබන්නේ පක්ෂ-දේශපාලනික පටු න්‍යායපත්‍රවලිනි. එහෙත් අද පාරේ සිටින තරුණ පරම්පරාව, ඒ පක්ෂ-දේශපාලනික පටු න්‍යායපත්‍ර පෙරලාගෙන, ඒවා සියල්ලට උඩින්, පෘථුල පොදු මහජන ව්‍යාපාරයක් බවට පරිවර්තනය වී සිටී.

Exit mobile version