Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ජනාධිපතිට ඉල්ලා අස්වෙන්න බැරිකමක් නෑ – මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය

දැන් ඒ මැතිවරණය ඉවරයි; ඉතිරි වී ඇත්තේ මරණ සහතිකය ලියන එක පමණයි - මහින්ද දේශප්‍රිය

දැන් ඒ මැතිවරණය ඉවරයි; ඉතිරි වී ඇත්තේ මරණ සහතිකය ලියන එක පමණයි - මහින්ද දේශප්‍රිය

ජනාධිපතිවරයා කැමති නම් සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට හැකියාවක් පවතින බව මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. රූපවාහිනී නාලිකාවක පැවති සංවාදයකදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.

එහිදී ඔහු සඳහන් කළේ, 1953 වර්ෂයේ ඇති වූ හර්තාලයෙන් වසර 69 කට පමණ පසු දකුණේ ඇති වූ විශාලම ජනතා විරෝධය මේ වන විට සිදු වෙමින් පවතින බවය. යම් හෙයකින් ජනතාවගෙන් එල්ල වන මෙම පීඩනය හමුවේ ජනාධිපතිවරයා සිය ධූරයෙන් ඉවත් වුවහොත් ඉන්පසු සිදු වන්නේ වැඩ බැලීම සඳහා ජනාධිපතිවරයෙකු පත් කර ගැනීම බව ඔහු පැවසීය.

එලෙස වැඩබැලීම සඳහා අනුප්‍රාප්තිකයෙකු පාර්ලිමේන්තුව විසින් පත් කර ගනු ලබන තෙක් අග්‍රාමාත්‍යවරයාට ජනාධිපති ධූරයේ වැඩ බැලීමට හැකි බවද ඔහු ප්‍රකාශ කළේය.

මේ අතර, දෙවරක් ජනාධිපති ධූරයේ කටයුතු කළ අග්‍රාමාත්‍ය ධූරයේ කටයුතු කරන මහින්ද රාජපක්ෂ මහතාට නැවත ජනාධිපති ධූරයේ කටයුතු කළ හැකි ද? යන්න සම්බන්ධයෙන් ගැටලුවක් පවතින බවද ඔහු සඳහන් කළේය. ඔහු ප්‍රකාශ කළේ, එසේ අග්‍රාමාත්‍යවරයාට යළි ජනාධිපති ධූරයේ කටයුතු කිරීමට නොහැකි වුවහොත් ජනාධිපති ධූරයේ වැඩ බැලීම සඳහා ඊළඟට බලය හිමිවන්නේ කතානායකවරයාට බවය.

තවද, අන්තර් කාලීන පාලනයක් ඇති කර ගැනීම සම්බන්ධයෙන් යෝජනාවක් පැවතියද එවන් පාලනයක් ඇති වුවහොත් විවිධ ප්‍රශ්න මතු විය හැකි බවද ඔහු අවධාරණය කළේය.

පවතින අර්බුදය සම්පූර්ණයෙන් නිම කර ගැනීමට පෙර ඉදිරි මාස 3ත් 6ත් අතර කාලය සඳහා වන වැඩපිළිවෙළක් සකසා කටයුතු කිරීමේ වැදගත්කමද ඔහු එහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.

Exit mobile version