Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මෛත්‍රීගේ සමුළුවට ගිය පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ට විනය පරීක්ෂණ : සාගර

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මූලිකත්වයෙන් මාර්තු දෙවන දින පක්ෂ 11ක් රැස්ව වැඩපිළිවෙළක් ඉදිරිපත් කිරීමේ අවස්ථාවට සම්බන්ධ වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයින් වන රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක හා පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ ප්‍රේම්නාත් සී. දොලේවත්ත යන දෙදෙනා සම්බන්ධයෙන් ඉදිරියේ දී පරීක්ෂණයක් පැවැත්වෙනු ඇතැයි එම පක්ෂයේ මහ ලේකම් නීතීඥ සාගර කාරියවසම් මහතා පවසයි.

ඔහු පැවසුවේ එම මන්ත්‍රීවරුන් දෙදෙනා එම අවස්ථාවට සම්බන්ධ වීම වැරදි ක්‍රියාවක් බවට තමා පෞද්ගලිකව විශ්වාස කරන බවත් ඒ අනුව ඉදිරියේ දී ඔවුන් සම්බන්ධයෙන් පක්ෂයේ මතය විමසා බලා පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු කරන බවත් ය.

ඒ ගැන කළ විමසීමක දී පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ ප්‍රේම්නාත් සී. දොලවත්ත පවසන්නේ විනය පරීක්ෂණයක් පැවැත්වෙන්නේ නම් එයට මුහුණ දීමට තමා සූදානම් බවයි.

”ආණ්ඩුව ගේන්න කැපවුණු, හිරේ ගිය ආණ්ඩුවම නියෝජනය කරන ඇමතිවරුන්ගෙන් මට ආරාධනයක් ලැබුණා එතනට සම්බන්ධ වෙන්න කියලා. මම දන්නා තරමින් එවැන්නකට සම්බන්ධ වෙන්න කිසි තහනමක් පක්ෂය ඇතුළේ නෑ. මාධ්‍යවල මම දැක්කා ඒකට විනය පරීක්ෂනයක් තියන්න යනවා කියලා. අපට ඒ ගැන දැනුම් දීමක් කරලා නෑ. විනය පරීක්ෂණයක් පැවැත්වෙනවා නම් මම ඊට සූදානම්” ඔහු වැඩිදුරටත් පැවසීය.

Exit mobile version