Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අධිභාර කෙටුම්පත් පනතින් EPF – ETF ඇතුළු අරමුදල් 13ක් ඉවතට; ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වයි

මාර්ගගත ආරක්ෂණ පනත් කෙටුම්පතට එරෙහිව තවත් පෙත්සම් 3ක්

මාර්ගගත ආරක්ෂණ පනත් කෙටුම්පතට එරෙහිව තවත් පෙත්සම් 3ක්

සේවක අර්ථසාධක අරමුදල (ඊ.පී.එෆ්.) සහ සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල (ඊ.පී.එෆ්.) ඇතුළු අරමුදල් 13ක අධිභාර බද්ද පනත් කෙටුම්පතින් ඉවත් කරන බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට (02) දැනුම් දුන්නේය. නීතිපතිවරයා වෙනුවෙන් මේ බව ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙනු ලැබුවේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් විවේකා සිරිවර්ධන මහත්මිය විසිනි.

මෙම පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම, බුවනෙක අලුවිහාරේ, ඒ.එච්.එම්. නවාස් සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ (02) යළි සැලකිල්ලට ගත් අවස්ථාවේ දී මෙම කරුණු ඉදිරිපත් විණි.මෙම පෙත්සමේ පෙත්සම්කරුවකු වන ලංකා වෝල්ටයිල් සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළේ, මෙම අධිභාර පනත මගින් හඳුන්වා දී ඇත්තේ බද්දක් නොව දඩ මුදලක් බවය. දඩ ගැසිය යුත්තේ බදු නොගෙවන අයට වන අතර, මෙමගින් සිදුවන්නේ අනුන්ගේ මුදල් රාජසන්තක කිරීමක් බවත්, මෙය වරදක් නොකර දඩ ගැසීමක් බවත් ජනාධිපති නීතිඥවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

මෙම පනත් කෙටුම්පත මගින් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් සිදුවන බැවින් එය, විශේෂ බහුතර මන්ත්‍රී සංඛ්‍යාවකින් හෝ ජනමත විචාරණයකින් අනුමත කළ යුතුව ඇතැයි \ද ජනාධිපති නීතිඥවරයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සඳහන් කළේය.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අධිභාර පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට සඳහන් කරමින් එම පනත් කෙටුම්පත විශේෂ මන්ත්‍රී බහුතරයකින් සහ ජනමත විචාරණයකින් අනුමත කිරීමට නියෝග කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කර තිබුණේ ඉකුත් 23 වැනිදාය. සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා, සුවිස් ෆෙඩ් සිලෝන් පෞද්ගලික සමාගම සහ ලංකා වෝල්ටයිල් සමූහය ඇතුළු දස දෙනකු විසින් ගොනුකරනු ලැබ ඇති මෙම පෙත්සමෙහි වගඋත්තරකරු වශයෙන් නම්කර ඇත්තේ නීතිපතිවරයාය.

‘අධිභාර පනත් කෙටුම්පත’ නමින් පනත් කෙටුම්පතක්. ඉකුත් පෙබරවාරි මස 03 වනදා ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත්කර ඇති බවත්, එහි 2(1) ඡේදයට අනුව, සේවක භාරකාර අමුදල, සේවක අර්ථසාධක අරමුදල සහ වෙළෙඳ සේවා අර්ථ සාධක අරමුදල යන අරමුදලින් මෙම අධිභාරය අයකිරීමට නියමිතව ඇති බවත් පෙත්සම්කරුවන් සිය පෙත්සමෙන් පෙන්වා ඇත.

අධිභාර පනත් කෙටුම්පතේ 2(1) ජේදයේ සඳහන් මෙම වගන්තියෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1), 3(1), සහ 4 වන වගන්තියෙන් කියැවෙන මූලික අයිතිවාසිකම් කඩවීමක් සිදුවන බව ද පෙත්සම්කරුවන් සිය පෙත්සමෙන් දක්වා තිබේ.මෙම පනත් කෙටුම්පතෙහි රාජ්‍ය ප්‍රතිපත්ති මූලධර්මයන් සම්පූර්ණයෙන්ම නොසලකා හැර ඇති බවත් එබැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 27(2) අ, ආ, ඈ යන වගන්තිවලට පටහැනි බවත් පෙත්සම්කරු සඳහන් කර ඇත. ඒ අනුව, පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත්තේ, මෙම පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සම්පූර්ණයෙන්ම පටහැනි බව ප්‍රකාශ කරන ලෙසත්, මෙය විශේෂ බහුතර මන්ත්‍රී සංඛ්‍යාවකින් සහ ජනමත විචාරණයකින් සම්මත කිරිමට නියෝගයක් නිකුත් කරන ලෙසත්ය.

Exit mobile version