Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

යුක්‍රේන – රුසියාව අතර යුද්ධයක් ඇවිලෙන ලකුණු

එක් පසෙකින් යුක්‍රේන දේශ සීමාවේ රුසියානු සෙබළු ලක්ෂයක් පමණ රැඳී සිටිති. අනෙක් පසින් ඇමරිකාව සහ නේටෝ රටවල් කිහිපයක් මිලියන ගණනින් හමුදා ආධාර එවමින් සිටියි. නැගෙනහිර යුරෝපයේ නේටෝ සාමාජිකයන් ආරක්ෂා කිරීම සඳහා යැයි පවසමින් එක්සත් ජනපදය ජර්මනිය, රුමේනියාව හා පෝලන්තය යන රටවලට හමුදාවන් යවමින් සිටියි. නේටෝ සාමාජිකයෙකු නොවන යුක්‍රේනයට හමුදා නොයවන බව එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ප්‍රකාශක ජෝන් කර්බි උදක්ම පවසා සිටියි.

යුක්‍රේන රුසියා දේශ සීමාවේ හමුදා පෙළගස්වමින් සිටින ආකාරය නිසා රුසියාව යුක්‍රේනයට දැවැන්ත ආක්‍රමණයක් සිදු කරන්නට යන්නේ යැයි එක්සත් ජනපදය හා යුරෝපය තැති ගැනී සිටියද, රුසියාව එය ප්‍රතික්ෂේප කරන නමුත්, නේටෝහි සාමාජිකත්වය ලබාගැනීමට යුක්‍රේනය දරන වෑයමට දැඩි විරෝධයක් දක්වයි.

ඒ අතරම එක්සත් ජනපදයේ ප්‍රධානත්වයෙන්, අතීත සෝවියට් සංගමයට අයත්ව පැවති රටවලට ආරක්ෂාව සැපයීම මුවාවෙන් හමුදා ස්ථානගත කිරීම නැවතීමට ආරක්ෂක සහතිකයක් රුසියාව බලාපොරොත්තු වේ.

තිබෙන බලය වැඩි කරගැනීමටත්, නැති බලයක් ඇති කරගැනීමටත් රුසියාව හා ඇමරිකාව වැනි ලෝක බලවතුන් දරන වෑයම නිසා යුක්‍රේනය කාල බෝම්බයක් බවට පත්වී හමාරය.

රුසියානු ආක්‍රමණයකින් සිය රට සහ පවුල ආරක්ෂා කරගැනීම සඳහා පියවර ගන්නා බව කියූ මැදි වියේ යුක්‍රේන ජාතිකයෙකුගේ වීඩියෝවක් ළැව්ගින්නක් මෙන් ටික් ටොක් සමාජ මාධ්‍යයේ පැතිර ගියේ පසුගිය දිනකය.

 

Exit mobile version