Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පාස්කු ප්‍රහාරයට දින 1000යි! තවමත් යුක්තිය ඉටුවෙලා නැහැ! – ජාතික ජන බලවේගය

පාස්කු ප්‍රහාරය සැලසුම් කිරීම පිටුපස සිටින සෑම පුද්ගලයෙකුටම ඔවුන්ගේ තරාතිරම නොබලා නීතිය ඉදිරියට ගෙන ආ යුතු බව ජාතික ජන බලවේගය නිවේදනයක් නිකුත් කරමින් මේ බව අවධාරණය කර සිටී.

එම සම්පූර්ණ නිවේදනය පහතින්….

තුන්සියයකට ආසන්න ජීවිත ප්‍රමාණයක් ජීවිතක්ෂයට පත්කරමින් පන්සීයකට වැඩි අහිංසක දරු දැරියන්,තරුණ තරුණියන් සහ වැඩිහිටියන් සංඛ්‍යාවක් අබාධිතයන් බවට පත්කරමින් මීගමුව කටුවාපිටිය ශා.සෙබස්තියන් දෙව් මැදුර , කොළඹ කොච්චිකඩේ ශා.අන්තෝනි දෙව් මැදුර සහ මඩකළපුව සියොන් දෙව්මැදුර මෙන්ම කොළඹ ප්‍රධාන හෝටල් දෙකක් තුල 2019 අප්‍රියෙල් 21 වන පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරයන් සිදුවී අද දිනට(ජන;14) දින දාහක්(1000) සම්පූර්ණවේ.

සිද්ධිය සිදුවූ මොහොතේ පැවතිය ආණ්ඩුවත්, ඒ සමඟම රට තුළ ඇතිවූ අර්බුදකාරී ආරක්ෂක වාතාවරණය දඩමීමා කරගෙන බලයට පැමිණි වර්තමාන ආණ්ඩුවත් වැරදිකරුවන් නීතිය ඉදිරියට ගෙන ඒමට කටයුතු කරනවා වෙනුවට ව්‍යාජ උත්සාහයන් දේශපාලන අභිමතාර්ථ මුදුන්පත් කරගැනීම සඳහා යොදාගන්නා අතර මරණයට පත් වූ හෝ පීඩාවට පත් වූ ජනතාවට තවමත් යුක්තිය නම් ඉටුවී නැත.

රටේ සමස්ථ ජනතාව මොරගසා ඉල්ලන්නේ මේ මහා අපරාධයට සම්බන්ධ වූ අය පමණක් නොව මෙය සැලසුම් කිරීම පිටුපස සිටියා වූ සිටියාවූ මහා මොළකරුවන් සොයා ඔවුන් නීතිය ඉදිරියට පැමිණිය යුතු බවය.

එහෙත් ඒ කිසිවක් සිදු නොවන අතර තවමත් අපට ඇහෙන්නේ යුක්තිය ඉල්ලා මොරදෙන ජනතාවගේ මහා අදෝනාව පමණි.

පාස්කු ප්‍රහාරයට වගකිව යුතු සහ එය සැලසුම් කිරීම පිටුපස සිටි සෑම පුද්ගලයෙක් සහ කණ්ඩායමක්ම ඔවුන්ගේ තරාතිරම නො බලා නීතිය ඉදිරියට රැගෙන ආ යුතු බව ජාතික ජන බලවේගයේ ස්ථාවරයයි.

ආරක්ෂාව පිළිබඳව මහා ඉහළින් කතා කරන වත්මන් රජයට මෙම විමර්ශන නිසියාකාරයෙන් මෙහෙයවා වගකිවයුත්තන් නීතිය ඉදිරියට ගෙන ඒමට නොහැකි වීම ගැන ජාතික ජන බලබලවේගයේ දැඩි කනස්සල්ල ප්‍රකාශ කර සිටියි.

දින දහසක් ගත වෙන මේ මොහොතේ මේ මෙලෙච්ඡ බෝම්බ ප්‍රහාරය නිසා මියගිය අයගේ පවුල්වල මෙන්ම මේ නිසා පීඩාවට පත්වී සිටින සියලු දෙනාගේ පවුල් වෙත ජාතික ජන බලවේගයේ ශෝකය ප්‍රකාශ කර සිටින අතර මියගිය සිය නෑයන් වෙනුවෙන් යුක්තිය ඉටුකරවා ගැනීමට දරණ සියලු උත්සාහයන්ට සහයෝගය පලකර සිටී.

ජාතික ජන බලවේගය
2022.01.14

Exit mobile version