Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ජනතාව ජාතී, ආගම් වශයෙන් බෙදා වෙන්කරන්නේ ඥානසාර හිමියන් – මනෝ ගනේෂන්

ජනතාව ජාතී, ආගම් වශයෙන් බෙදා වෙන්කරන්නේ ඥානසාර හිමියන් - මනෝ ගනේෂන්

ජනතාව ජාතී, ආගම් වශයෙන් බෙදා වෙන්කරන්නේ ඥානසාර හිමියන් - මනෝ ගනේෂන්

මෙරට ජනතාව ජාතීන් වශයෙන් මෙන්ම ආගම් වශයෙන් බෙදා වෙන්කර රට බෙදීමට කටයුතු කරනුයේ ඥානසාර හිමියන් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝගනේෂන් මහතා පැවසීය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලීම් කරන දෙමළ ජනතාව නියෝජනය කරන පක්ෂවල නායකයන් පුනරුත්ථාපනය කරන ලෙස සඳහන් කරනු ලබන පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පළමුවෙන් පුනරුත්ථාපනය කළ යුතු බවද පුවත්පතකට අදහස් පළ කරමින් හෙතෙම සඳහන් කළේය.

මේ අතර, දෙමළ ජනතාවගේ ගැටලු සහිත පොදු එකඟතාවකින් යුතු යෝජනාව (21) ඉදිරීපත් කරන බව සඳහන් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝගනේෂන් මහතා, “දෙමළ ජනතාවගේ ඡන්දයෙන් පාර්ලිමේන්තුවට පත්වුණු පක්ෂ රාශියක් අද කොළඹ දී රැස්වීමට කටයුතු යොදා තිබෙනවා. එහිදී සිංහල ජනතාව සමග එකට ජීවත්වීමේ අරමුණින් දෙමළ භාෂාව කතා කරන ජනතාවගේ ගැටලු පිළිබඳ එකඟතාවකට පැමිණෙනවා. මෙම සාකච්ඡාවේ වාරයේ දෙවැනි සාකච්ඡාව පසුගිය 12 වැනිදා තිබුණා. මෙම සාකච්ඡා මාලාවේ සකච්ඡාවට ගත් කාරණා මේ ආකාරයෙන් එකඟතාවක් සහිත යෝජනාවක් අද අපි ඉදිරිපත් කරන්න බලාපොරොත්තුවෙන් සිටිනවා.

මේකෙන් අපි ලංකා ආණ්ඩුවටත් ඉන්දීය ආණ්ඩුවටත් සහ ලෝක සමාජයට මෙන්ම ලංකාවේ විපක්ෂනායකතුමා ඇතුළු අනෙත් පක්ෂවල නායකයන්ටත් අපි ඒක ඉදිරිපත් කරනවා. අපි 13වැනි සංශෝධනය ගැන කතා කරන්නේ ඒක මේ රටේ ව්‍යවස්ථාවේ තිබෙන නීතියක් නිසා. ඉතින් මේ ගැන කතා කරද්දි ඥානසාර හිමියන් අපට විරුද්ධව කතා කරනවා. ඥානසාර හිමියන් මේ නීතිය ගැන දන්නේ නැද්ද කියලා මම අහනවා. මම උන්වහන්සේට පළමුවෙන් කියනවා කරුණාකරලා රටේ මූලික නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අරගෙන කියවලා බලන්න කියලා. සිංහලෙන්, දෙමළෙන් සහ ඉංග්‍රීසි භාෂාවෙන් තියෙනවා. ඉතින් ව්‍යවස්ථාවේ තියෙන නීතිය ක්‍රියාත්මක කරන එක වැරදිද කියලා මම අහන්න කැමතියි.

ව්‍යවස්ථාවේ 06වැනි සංශෝධනය හරහා නීතියක් ඇතුළු වුණේ රටේ බෙදුම්වාදය තහනම් කරලා. අපි අහන්නේ ඒකත් වැරදිද? ඇත්තටම පුනරුත්ථාපනය අවශ්‍ය වෙලා තිබෙන්නේ ඥානසාර ස්වාමීන් වහන්සේට. අනිත් එක මේ රටේ ප්‍රධාන බෙදුම්වාදියා වන්නේ ඥානසාර ස්වාමීන් වහන්සේ. රටේම ජීවත් වන ශ්‍රී ලාංකික ජනතාව ජාතීන් වශයෙන්, ආගම් වශයෙන් බෙදලා වෙන් කරලා රට බෙදන්නේ ඥානසාර ස්වාමීන් වහන්සේ. ඉතින් පුනරුත්ථාපනය අවශ්‍ය වන්නේ උන්වහන්සේට. අපට නෙවෙයි. ඒ වගේම සිංහල ජනතාවත් මේක තේරුම් අරගෙන ඉන්නේ” යනුවෙන්ද ප්‍රකාශ කළේය.

Exit mobile version