Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ණය ගැනුම් සීමාව සීමාව බිලියන 3397 දක්වා වැඩි කිරීමට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය

බදු පනත් දෙකක් බලාත්මක වේ

බදු පනත් දෙකක් බලාත්මක වේ

ණය ගැනුම් සීමාව වැඩි කිරීම සඳහා ඉදිරිපත් කරන ලද 2020 අංක 07 දරන විසර්ජන පනත සඳහා වූ සං‍ශෝධනයට පසුගියදා සභාපති අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ ප්‍රධානත්වයෙන් හෙබි රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමි වී තිබෙනවා.

එමඟින් අදාළ පනතේ 02වන වගන්තිය සංශෝධනය කෙරෙන අතර එයින් මෙතෙක් රු.බි. 2997ක්ව පැවති ණය ගැනුම් සීමාව රු.බි. 3397 දක්වා ඉහළ දැමීම සිදු කෙරෙනු ඇති බවයි පසුගියදා මාර්ගගත ක්‍රමයට පැවති පාර්ලිමේන්තුවේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය වී ඇත්තේ.

මේ සම්බන්ධව පැහැදිලි කරමින් මුදල් අමාත්‍යංශ ලේකම් සහ භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල මහතා පෙන්වා දුන්නේ, ණය ගැනීමේ සීමාව වැඩි කිරීම සඳහා විසර්ජන පනතට සංශෝධනයක් අවශ්‍ය වූයේ කොවිඩ් 19 වසංගත තත්ත්වය නිසා රටේ උද්ගත වූ ආර්ථික පසුබෑමෙන් 2021 වසර සඳහා අපේක්ෂිත ආදායම ලබාගැනීමට නොහැකි වීම, පරිපූරක වියදම් ඉහළ යාම, විදේශ මුදලින් සිදු කළ යුතු ණය සේවා ගෙවීම් වලට මුදල් සැපයීමේදී රුපියල අවප්‍රමාණය වීම නිසා වූ බලපෑම ආදී හේතු මත බවයි.

එසේම, පරිපූරක වියදම් ඉහළ යාමට කොවිඩ් 19 වසංගත තත්ත්වය නිසා ඉහළ ගිය සුබසාධන වියදම් හේතුවූ බව පෙන්වා දුන් ආටිගල මහතා එම වියදම් සඳහා පාර්ලිමේන්තුව විසින් රු. බි. 200ක මුදලක් පසුගිය කාල සීමාව තුළ අනුමත කළ බව ප්‍රකාශ කළා.

මෙම පනත් සංශෝධනයට අමතරව 2021.09.27 දින ගත් කැබිනට් තීරණයට අනුව, 1969 අංක 01 දරන ආනයන අපනයන (පාලන) පනත යටතේ 2020 ඔක්තෝම්බර් 29 වන දින පටන් ක්‍රියාත්මක වූ සුදු සීනි සඳහා වූ බලපත්‍ර ක්‍රමය ඉවත් කිරීමට මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ ගැසට් පත්‍රයටද මෙම රජයේ මුදල් පිලිබඳ කාරක සභාවේ අනුමැතිය හිමි වී තිබෙනවා.

Exit mobile version