පාකිස්ථාන න්‍යෂ්ටික වැඩසටහනේ නිර්මාතෘවරයා ලෙස සැලකෙන න්‍යෂ්ටික විද්‍යාඥ ආචාර්ය අබ්දුල් කදීර් ඛාන් ‘කොවිඩ් – 19’ ආසාදනය වී අසාධ්‍ය තත්ත්වයට පත්ව අභාවප්‍රාප්ත වූ බව පාකිස්ථාන මාධ්‍ය වාර්තා කර තිබේ.
මියයන විට ඔහුගේ වයස අවුරුදු 85 ක් වූ ඔහු 1936 අප්‍රේල් 01 ඉන්දියාවේ බෝපාල් ප්‍රදේශයේ දී උපත ලැබූ ඔහු පසුගිය ඔක්තෝබර් 10 වැනි දින පකිස්ථානයේ ස්ලාමාබාද් නුවර රෝහලකදී මිය ගොස් ඇත. පසුගිය අගෝස්තු මාසයේදී අබ්දුල් කදීර් ඛාන්ට ‘කොවිඩ් 19’ ආසාදනය වී ඇති අතර මාසයකට වැඩි කාලයක් රෝහල්ගතව ප්‍රතිකාර ලබා ඔහු නිවසට පැමිණ සිටින විට රෝගය උත්සන්න වී ඇත්තේ නිවසේ සිටිද්දීය.
පාකිස්තාන ජනාධිපති අරීෆ් අල්වී, ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේ පාකිස්ථානය න්‍යෂ්ටික බලයෙන් සන්නද්ධ කිරීම සඳහා ආචාර්ය අබ්දුල් කදීර් ඛාන් ඉටු කළ මෙහෙවර කිසිදා අමතක නොවනු ඇති බවය. අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛන් ඔහුගේ අභාවය සම්බන්ධයෙන් ට්විටර් සටහනක් එක්කරමින් පවසා ඇත්තේ පාකිස්ථානයට “ජාතික සංකේතය” අහිමි වී ඇති බවයි. එහි වැඩිදුරටත් “අප න්‍යෂ්ටික බලයෙන් යුතු රාජ්‍යයක් බවට පත් කිරීම සඳහා ඔහු දැක්වූ තීරණාත්මක දායකත්වය නිසා ඔහුට අපේ ජාතියේ ආදරය ලැබුණි” යනුවෙන් සටහන් කර ඇත.
අසල්වැසි ඉන්දියාව න්‍යෂ්ටික බලය අත්පත් කර ගැනීමත් සමග එවකට න්‍යෂ්ටික විද්‍යාඥ ආචාර්ය අබ්දුල් කදීර් ඛාන්ගේ මූලිකත්වයෙන් පකිස්ථානයද න්‍යෂ්ටික බලය අත්පත් කර ගැනීමේ උත්සාහයක නිරත විය. එම උත්සාහය 1998 වසරේදී සාර්ථක කර ගැනීමට ඔවුන්ට හැකි වූ අතර පළමු න්‍යෂ්ටික අත්හදා බැලීම එම වසරේදී සිදු කිරීමට ඔවුන්ට හැකි විමත් සමග න්‍යෂ්ටික විද්‍යාඥ ආචාර්ය අබ්දුල් කදීර් ඛාන් පකිස්ථාන ජාතික වීරයෙක් බවට පත්විය.
නමුත් 2004 දී නීති විරෝධී ලෙස ඉරානය, ලිබියාව සහ උතුරු කොරියාව සමඟ න්‍යෂ්ටික තාක්‍ෂණය බෙදා ගැනීම සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට ගනු ලැබූ අතර න්‍යෂ්ටික රහස් වෙනත් රටවලට ලබා දුන් බව හෙළිදරව් වීමත් සමග පකිස්ථානය බටහිර රටවල උදහසට ලක්විය. අත්අඩංගුවට ගත් ආචාර්ය ඛාන්ට පකිස්ථානයේ එවකට ජනාධිපතිව සිටි ජෙනරාල් පර්වේස් මුෂාරෆ් සමාව දුන් නමුත් ඔහු 2009 දක්වා නිවාස අඩස්සියේ පසුවිය.