Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රටේ සිමෙන්ති හිඟයත් දරුණු වෙයි

රට පුරා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ විශාල පිරිසක් අර්බුදයට යවමින් මේ වනවිට වෙළඳපොළ තුළ දැවැන්ත සිමෙන්ති හිඟයක් මතුව ඇති බව වාර්තා වේ.

මාස කිහිපයක් තිස්සේ ක්‍රමයෙන් නිර්මාණය වෙමින් පැවති සිමෙන්ති හිඟය මේ වනවිට ඉතාමත් දරුණු ලෙස ඉදිකිරීම් ක්ෂේත්‍රයට බලපෑමක් එල්ල කරමින් ඇති බව එම ක්ෂේත්‍රයේ නිරත වන්නන් පවසයි. ආණ්ඩුව රුපියල් පනහකින් මිල වැඩිකිරීමක් කරමින් රුපියල් 950ක පාලන මිලක් සිමෙන්ති කොට්ටයක් සඳහා නියම කර තිබුණද මේ වනවිට විවිධ ස්ථාන වල සිමෙන්ති කොට්ටයක මිල ඊට බොහෝ සෙයින් වැඩි අගයකට අලෙවි කරමින් ඇති බවට අනාවරණය වේ.

මෙරට සිමෙන්ති අවශ්‍යතාවයෙන් 60%ක් ශ්‍රී ලංකාවේදී නිෂ්පාදනය කරනු ලබන අතර ඉතිරි 40% ආනයනය කරනු ලැබේ. මේ වනවිට ආණ්ඩුව දැවැන්ත විදෙස් මුදල් අර්බුදයකට මුහුණ දී සිටින අතර එම හේතුව නිසා සිමෙන්ති ආනයනයද නතර වී ඇති බව පැවසේ.

මෙම තත්වය රට පුරා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නිරත වන ලක්ෂ සංඛ්‍යාවක් වන පෙදරේරුවන්ගේ සහ සහායකයින්ගේ ජීවනෝපායට අහිත කර ලෙස බලපෑම් එල්ල කරමින් තිබේ.

Exit mobile version