Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

CIDය ගුරු උද්ඝෝෂණවලට සහභාගී වූවන්ගේ තොරතුරු කැඳවයි; විසඳුම් වෙනුවට ආණ්ඩුව බිය වැද්දීමට උත්සාහ කරනවා

දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසෙන ගුරු විදුහල්පති වෘත්තීය සමිති

දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසෙන ගුරු විදුහල්පති වෘත්තීය සමිති

ගුරු වැටුප් විෂමතා සම්බන්ධයෙන් පැවැත්වූ රැස්වීම් සහ උද්ඝෝෂණවලට සහභාගිවූවන් පිළිබඳව තොරතුරු ලබාදෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පොලිස් ස්ථානවලට දැනුම් දී තිබේ.

ගුරු විදුහල්පති මහජන රැස්වීම්, පෙළපාලි හා උද්ඝෝෂණ පැවැත්වූ ස්ථාන සහ දින, ඒවා සංවිධානය කළ පුද්ගලයින්ගේ නම් හා ලිපිනයන්, ඒවාට සහභාගිවී ඇති සංඛ්‍යාව, එම රැස්වීම්, පෙළපාලි හා උද්ඝෝෂණ පැවැත්වූ දිනයෙන් පසුව කොවිඩ් 19 ආසාදිතව මියගොස් ඇති හා ආසාදිත බවට පත්වී ඇති විදුහල්පතිවරුන්ගේ හා ගුරුවරුන්ගේ නම්, ලිපිනයන්, පදිංචි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය හා කලාප අධ්‍යාපන කාර්යාලය යන තොරතුරු ලබාදෙන ලෙස සීඅයිඩීය ඒ අනුව පොලිස් ස්ථාන වෙත දැනුම් ඇත.

සීඅයිඩීය කරන ලද එම දැනුම් දීම අනුව ඉහත තොරතුරුවලට අදාල තමන් සතු තොරතුරු ලබා දෙන ලෙස මූලස්ථාන පොලිස් ස්ථාන සිය ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම්වරුන්ට ලිඛිතව දැනුම් දීමක් කර ඇති අතර ඒ මගින් අවධාරණය කර ඇත්තේ මෙය කඩිනම් විමර්ශන අවශ්‍යතාවක් බවය. එමෙන්ම එම තොරතුරු ඇතුලත් වාර්තාවක් සැප්තැම්බර් 08 දිනට ප්‍රථම සීඅයිඩීය ඉල්ලා ඇති බවද ප්‍රාදේශීය ලේකම්වරුන්ට යවන ලද දැනුම් දීමේ පොලීසිය සඳහන් කර ඇත.

මේ අතර වැටුප් ගැටළුවට විසඳුම් ලබා දෙනවා වෙනුවට ආණ්ඩුව පොලිසිය ලවා ගුරුවරුන් හා විදුහල්පතිවරුන් බිය වැද්දීමට උත්සාහ ගනිමින් සිටින්නේ යැයි ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය චෝදනා කරති.

මේ වන විට හොරණ මූලස්ථාන පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා විසින් හොරණ, ඉංගිරිය, මාදුරාවල මිල්ලනිය ප්‍රාදේශීය ලේකම්වරුන්ගෙන් උද්ඝෝෂණ හා පෙළපාලිවලට සම්බන්ධ වූ ගුරුවරුන් හා විදුහල්පතිවරුන්ගේ තොරතුරු ඉල්ලා ඇති බවද කොළඹ දී (8) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානයේ නියෝජිත ජෝසප් ස්ටාලින් මහතා පැවසීය.

Exit mobile version