Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රජය පාප් වහන්සේත් නොමග යවන්න හදනවා: අගරදගුරු – අගමැති පාප් වහන්සේ බැහැදැකීමට ඉල්ලීමක් කර නෑ: විදේශ අමාත්‍යාංශය

රජය පාප් වහන්සේත් නොමග යවන්න හදනවා: අගරදගුරු; අගමැති පාප් වහන්සේ බැහැදැකීමට ඉල්ලීමක් කර නෑ: විදේශ අමාත්‍යාංශය

රජය පාප් වහන්සේත් නොමග යවන්න හදනවා: අගරදගුරු; අගමැති පාප් වහන්සේ බැහැදැකීමට ඉල්ලීමක් කර නෑ: විදේශ අමාත්‍යාංශය

අග්‍රාමාත්‍යවරයා සහ විදේශ කටයුතු ඇමතිවරයා ඉතාලි සංචාරයේදී වතිකානයට ගොස් බොරු කියා පාප් වහන්සේ පවා නොමග යැවීමට උත්සාහ ගන්නා බව පෙනෙන්නේ යැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ.

ඔවුන්ගේ වතිකාන ගමන පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ සත්‍ය යටගැසීමට රජය ගෙන යන ව්‍යාපාරයේ තවත් තුරුම්පුවක් බවත් එම වැඩපිළිවෙල තරයේ හෙළා දකින බවත් කාදිනල්තුමෝ පැවසූහ. කාදිනල්තුමන් මේ බව පැවසුවේ කොළඹ අගරදගුරු මැදුරේදී (8) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සම්බන්ධයෙන් ද නීති ක්‍රියාමාර්ගය ගත යුතු බව ජනාධිපති කොමිෂන් සභාව නිර්දේශ කර තිබුණත් රජය ඔහු ආරක්ෂා කරන්නට යන බව පෙනෙන්නේ යැයි කී කාදිනල්තුමෝ චෝදනා ඇති සමහරුන්ව ආරක්ෂා කරන්නට රජය උත්සාහ කරන්නේ ඔවුනුත් මේ ප්‍රහාරයේ කොටස්කරුවන් නිසාද යන සැකයක් තමාට ඇතිවන බවද, එමෙන්ම මේ ගැන චෝදනා එල්ල වී ඇති පොලීසියේ නිලධාරීන් පිරිසක් මහ නා හිමිවරු හමුවී ඔවුන්ට අසාධාරණයක් වී ඇතැයි ප්‍රකාශ කිරීම අනුමත නොකරන බව කී කොළඹ අගරදගුරුතුමෝ ජාතිය ආගම මත කිසිවෙක් බේරා ගැනීමට නොහැකි බවත් කතෝලික අයකු වරදක් කර තමා හමුවට ආවා නම් ඔවුන් පිළිනොගන්නා බවත්ත ඔවුන්ට චෝදනාවක් ඇත් නම් අධිකරණය හමුවට යා යුතු බවද කාදිනල්තුමෝ කීහ.

රජය ජාත්‍යන්තරයට ගොස් හැංගෙන්නට උත්සාහ කිරීම අනුමත නොකරන බව කී කාදිනල්තුමෝ එසේ ගොස් බාල්දු වෙන්නට එපා යැයි අගමැතිවරයාටත් විදේශ ඇමතිවරයාටත් දැනුම් දෙන බවද සඳහන් කළහ. එම උත්සාහය ඔවුන්ගේම හිසට වැදෙන්න ඉඩ ඇති බවත් මේ සිද්ධීන් සම්බන්ධයෙන් ජිනීවා මානව හිමිකම් කොමිසම දැනුවත් කරන බව වතිකානයේ සාධාරණය හා යුක්තිය පිළිබඳ කටයුතු කරන පියතුමා තමාට දැනුම් දී ඇතැයි ද කාදිනල්තුමෝ පැවසූහ.

මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉතාලියේ නිරතවන සංචාරය අතරතුර වතිකානුවට ගොස් පාප් වහන්සේ බැහැදැකීමට වැඩසටහනක් යොදාගෙන නැතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.
එම නිවේදනය:
අග්‍රාමාත්‍යතුමා ඉතාලියේ නිරත වන චාරිකාව

ඉතාලියේ අග්‍රාමාත්‍යතුමා සහ ඉතාලියේ හා අනෙකුත් යුරෝපා රටවල සම්භාවනීය අමුත්තන් සහභාගී වන ජාත්‍යන්තර උත්සව අංගයකට සහභාගී වීම සඳහා අග්‍රමාත්‍යතුමා සහ විදේශ අමාත්‍යතුමා නොබෝ දිනකින් ඉතාලියේ බොලොඤ්ඤා නගරයෙහි සංචාරයක නිරත වීමට නියමිතය.

සැප්තැම්බර් 06 වැනි සඳුදින පැවති සාකච්ඡාවේ දී, විදේශ අමාත්‍යතුමා මෙම සැලසුම් කරන ලද සංචාරයේ පරමාර්ථය පිළිබඳව පැහැදිලිව විස්තර කළේය. යුරෝපයේ පැරණිම අධ්‍යයන ආයතනයක් වන බොලොඤ්ඤා විශ්වවිද්‍යාලයේ පැවැත්වෙන ජාත්‍යන්තර සම්මන්ත්‍රණයේ ආරම්භක සැසියේ ප්‍රධාන දේශනය ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා විසින් සිදුකිරීමට නියමිතය.

කිසිදු අවස්ථාවක දී, උතුම් වූ පාප් වහන්සේ බැහැදැකීම පිණිස වතිකානුව වෙත යාම සඳහා අග්‍රාමාත්‍යතුමා විසින් ඉල්ලීමක් කොට හෝ එවැනි ආරාධනයක් ලැබී හෝ නොමැත.

බොලොඤ්ඤා හි පැවැත්වෙන උත්සව අංගයන් අවසන් වූ පසුව, අග්‍රාමාත්‍යතුමා සහ විදේශ අමාත්‍යතුමා ඉතාලියෙන් පිටත්ව එනු ඇත.

විදේශ අමාත්‍යාංශය
කොළඹ
2021 සැප්තැම්බර් 8 වැනි දින

Exit mobile version