Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

සීනි කන්ටේනර් 600ක් මාස දෙකක් තිස්සේ වරායේ හිර වෙලා

ආනයනය කරන ලද සීනි කන්ටේනර් 600 කට ආසන්න සංඛ්‍යාවක් මාස දෙකක පමණ කාලයක් තිස්සේ කොළඹ වරායේ සිරවී ඇති බව ආනයනකරුවෝ පවසති.
ඉන් කන්ටේනර් 433 ක් ආනයනකරුවන් නවදෙනකු විසින් ආනයනය කරන ලද ඒවා වන අතර සීනි මෙටි්‍රක්ටොන් 12000 ක් පමණ එහි අඩංගුව ඇතැයි ඔවුහූ සඳහන් කරති.
වාණිජ බැංකු නිකුත් කළ ණයවර ලිපි ඔස්සේ මෙම සීනි තොගය ආනයනික බලපත්‍ර යටතේ ඉන්දියාවෙන් ආයනය කර ඇති බවත් ආනයකරුවෝ කියති.
මෙම සීනි කන්ටේනර් 433 මාස දෙකක් තිස්සේ නිදහස් නොකර කොළඹ වරායේ රඳවාගෙන තිබීම නිසා සීනි කිලෝවක් සඳහා රුපියල් 20 ත් 25 ත් අතර මුදලක් ප්‍රමාදගාස්තු ලෙස වරායට ගෙවීමට සිදුවී ඇති බවත් ආනයනකරුවෝ කියති.
මේ අතර තවත් සීනි ආනයනකරුවකු විසින් බලපත්‍ර නොමැතිව ගෙන්වනලද සීනි කන්ටේනර් 130 ක් ද, මාස දෙකක් තිස්සේ කොළඹ වරායේ රඳවාගෙන ඇති බව ද ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම ආනයනකරු විසින් මියන්මාරයට නැව්ගත කර ඇති සීනි කන්ටේනර් 130 එම රටේ ගැටලුවක් හේතුවෙන් ආපසු කොළඹ වරායට ගොඩබා ඇති බව ද වාර්තා වේ.
මෙම සීනි කන්ටේනර් 130 රටතුළට ගෙනඒමට ආනයන අපනයන පාලකවරයා ඉඩනොදීම නිසා ඒවා ප්‍රතිඅපනයන කිරීමට පියවර ගෙන තිබේ.
මෙම සීනි තොගය පිළිබඳව කළ විමසුමකදී වාරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පැවසුවේ රඳවාගෙන තිබෙන සීනි තොගය ලංකා සතොසට ලබාගැනීමට තීරණය කර ඇති බවයි.
වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සහ ආනයනකරුවන් සමඟ මේ පිළිබඳව සාකච්ඡා කළ බවත් සීනි තොගය ලංකා සතොසට ලබාගැනීමේදී ආනයනකරුවන් ප්‍රමාද ගාස්තුවලින් නිදහස් කරන බවත් කීය.
එම සීනි සතොස හරහා සහන මිලට ලබාදීමට සැළසුම්කර ඇතැයි ද අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.

Exit mobile version