Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ප්‍රභූන් ඝාතනයට කුමන්ත්‍රණවලට වැරදිකරු වූ හිටපු ගුවන් හමුදා සෙබළාට ජීවිතාන්තය දක්වා සිර දඬුවම

ගිනි අවි සන්තකයේ තබා ගනිමින් ත්‍රස්තවාදීන්ට ආධාර අනුබල දීම හා ප්‍රභූන් ඝාතනයට කුමන්ත්‍රණ කිරීමේ චෝදනාවට වැරදිකරු වූ හිටපු ගුවන් හමුදා සෙබළාට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කරනු ලැබීය.

එල්ටීටීඊ ත්‍රස්තවාදී ක්‍රියාවන් සඳහා ආධාර අනුබලදිම,ප්‍රභූන් ඝාතනයට සහායදීම හා ගිනි අවි ඇතුළු ජීව උණ්ඩ සන්තකයේ තබාගැනීමේ වරදට අත්අඩංගුවට පත් සැකකරුවකුට එරෙහිව හම්බන්තොට මහාධිකරණයේ පැවති නඩු විභාගයකදී චුදිත වැරදිකරු බවට පත්වීම හේතුවෙන් චුදිතට ජිවිතාන්තය දක්වා සිර දඩුවමක් හා රුපියල් 25000ක දඩ මුදලක් ගෙවන ලෙස හම්බන්තොට පුර්වගාමී මහාධිකරණ විනිසුරු තාමර තෙන්නකෝන් මහතා ඊයේ (08) නියෝග කළේය.

මෙලෙස ජිවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වුයේ තිස්සමහාරාම පදිංචි දික්වැල්ල විදාන කංකානම්ලාගේ චමිල ප්‍රියංග නමැති 44 හැවිරිදි එක් දරු පියකුටය.

චුදිත තැනැත්තා 2009.05.02 වන දින එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදී ක්‍රියාවන් සඳහා ආධාර අනුබලදිම,ප්‍රභූන් ඝාතනයට සහාය දිම හා ගිනි අවි ඇතුළු ජීව උණ්ඩ සන්තකයේ තබාගැනීමේ චෝදනාව යටතේ කොම්පඤ්ඤවීදිය අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.චුදිත ගුවන් හමුදා නිලධාරියකු ලෙස සේවය කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇති අතර එහිදී ඔහු සන්තකයේ තිබී MP.05 වර්ගයේ ස්යංක්‍රිය ගිනි අවි 01ක්, 9MM වර්ගයේ ජිව උණ්ඩ 90ක් හා මිලිමීටර් 7.65 වර්ගයේ ජීව උණ්ඩ 35ක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අනුව චුදිතට එරෙහිව කොම්පඤ්ඤවීදිය අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් මුලික විමර්ෂණ පවත්වා චුදිත තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු පැවති මුලික නඩු විභාගයෙන් අනතුරුව නිතිපතිවරයා විසින් චුදිතට එරෙහිව අධි චෝදනා දෙකක් යටතේ හම්බන්තොට මහාධිකරණය හමුවේ නඩු පවරා තිබේ.ඒ අනුව පැවති දීර්ඝ නඩු විභාගයකින් පසු චුදිතට එරෙහිව නගා තිබූ සියලු චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට පැමිණිල්ල සමත්වීය.

ඒ අනුව ඉදිරිපත් වු කරුණු සළකා බැලූ හම්බන්තොට පුර්වගාමී මහාධිකරණ විනිසුරු තාමර තෙන්නකෝන් මහතා චුදිතට පළමු චෝදනාව සඳහා ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කළ අතර දෙවැනි චෝදනාව සඳහා රුපියල් 25000ක දඩ මුදලක් නියම කෙරුණි.චුදිත දඩ මුදල් නොගෙවන්නේ නම් තවත් මාස 06ක සිර දඩුවම් නියම කෙරුණි.

පැමිණිල්ල වෙනුවෙන් රජයේ අධිනීතීඥ ගෙවිදු සෙනෙවිරත්න මහතා පෙනී සිටියේය.

Exit mobile version