Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අවුරුදු 30ට වැඩි සියලුම ශ්‍රී ලාංකිකයන්ට කොවිඩ් එන්නත්කරණය අනිවාර්ය කෙරෙන නව නීති

කොවිඩ් එන්නත සම්බන්ධයෙන් දැනුම්දීමක්

කොවිඩ් එන්නත සම්බන්ධයෙන් දැනුම්දීමක්

අවුරුදු 30ට වැඩි සියලුම ශ්‍රී ලාංකිකයන් කොවිඩ් එන්නත්කරණයට ලක්වීම අනිවාර්ය කෙරෙන නීති රෙගුලාසි ක්‍රියාත්මක කිරීමට රජයේ අවධානය යොමු වී ඇත.

කොවිඩ් මර්දන එන්නත ලබා නොගත් පිරිස් පිළිබඳව සොයා බැලීම සඳහා ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් සමීක්ෂණයක් රට පුරා අරඹා ඇත්තේද එහි මූලික පියවරක් ලෙස යැයි රජයේ ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත. එන්නත ලබා නොගත් පිරිස් පිළිබඳව දිවයින පුරා සමීක්ෂණයක් පවත්වන්නැයි ජනාධිපතිවරයා සෞඛ්‍ය අංශ ප්‍රධානීන්ට පසුගියදා උපදෙස් දුන්නේය. මේ කාරණය පිළිබඳව කොවිඩ් මර්දන කමිටුවේදීද පසුගියදා සාකච්ඡා කෙරිණ.

විවිධ හේතු නිසා ඇතැම් පිරිස් එන්නත ලබාගැනීමට බිය වී සිටින බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

එන්නත් කටු ගසනවාට බිය වී සිටින පිරිස, තමාට ඉහළ ප්‍රතිශක්තියක් ඇතැයි අධිතක්සේරු වෙන් සිටින පිරිස සහ එන්නත් භාවිතයෙන් වෙනත් අතුරු පල ඇති වේයැයි බියෙන් සිටින පිරිස එන්නත ලබා ගැනීම මග හරින එම කණ්ඩායම් තුන බව ඖෂධ නිශ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය.

කොරෝනා මර්දන එන්නත ලබා ගැනීමට රජය සියලු පහසුකම් සලසා දී තිබියදී එය මගහැර සිටින්නේ සියයට එකකට වඩා අඩු පිරිසක යැයිද හෙතෙම සඳහන් කළේය.

කොවිඩ් එන්නත් සහතිකය අනිවාර්යට අවධානය

මේ අතර කොවිඩ් එන්නත ලබා ගත් බවට සහතික කෙරෙන කාඩ්පත ළඟ තබා ගැනීම අනිවාර්ය කිරීම කෙරෙහි කොවිඩ් මර්දන කමිටුවේ ඉහළ අවධානය යොමු වී ඇත.

විශේෂයෙන් රජයේ ආයතනවලට සහ සුපිරි වෙළෙඳසල්වලට ඇතුළුවීමේදී එම කාඩ්පත ළග තිබීම අනිවාර්ය කිරීම ඉතා වැදගත් බව සෞඛ්‍ය අංශ ප්‍රධානීන් ඇතුළු විවිධ විවිධ පාර්ශ්ව දැනටමත් රජයට කරුණු පෙන්වා දී ඇත. කොවිඩ් කමිටු රැස්වීමේදීද (30) මේ ගැන සාකච්ඡා වී ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතා පැවසුවේ කොවිඩ් මර්දනය සඳහා ඉදිරියේදී තවත් රෙගුලාසි හඳුන්වා දීමට සිදුවන බවයි.

Exit mobile version