Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

විදේශීය ටෙලි නාට්‍ය හා චිත්‍රපට මෙරට විකාශය කිරීමෙන් රු.මිලියන 251ක බදු ආදායමක් – ජනමාධ්‍ය ඇමැති

විදේශීය ටෙලි නාට්‍ය හා චිත්‍රපට මෙරට මාධ්‍ය තුළ විකාශය කිරීමෙන් 2021තුළ රු.මිලියන 251ක බදු ආදායමක් - ජනමාධ්‍ය ඇමැති

විදේශීය ටෙලි නාට්‍ය හා චිත්‍රපට මෙරට මාධ්‍ය තුළ විකාශය කිරීමෙන් 2021තුළ රු.මිලියන 251ක බදු ආදායමක් - ජනමාධ්‍ය ඇමැති

විදේශීය ටෙලි නාට්‍ය හා චිත්‍රපට මෙරට මාධ්‍ය තුළ විකාශය කිරීමෙන් 2021 පෙබරවාරි සිට මේ දක්වා ලැබී ඇති බදු ආදායම රුපියල් මිලියන 251ක් බව ජනමාධ්‍ය ඇමැති, ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළේය.

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් පසුගිය කාලයේදී අත්හිටුවා තිබූ විදේශීය ටෙලි නාට්‍ය හා චිත්‍රපට මෙරට මාධ්‍යයෙහි විකාශයෙන් බදු අය කිරීම නැවතත් 2021 පෙබරවාරි මස සිට ආරම්භ කර ඇති බවත් එමඟින් මේ දක්වා ලැබී ඇති ආදායම රුපියල් මිලියන 251ක මේ බදු ආදායම ලැබී ඇති බවත් රඹුක්වැල්ල මහතා පැවසීය.

එලෙස අය කරන බදු මුදල තවදුරටත් වැඩි කිරීමට අවධානය යොමු කරන බවත් එමඟින් දේශීය සංස්කෘතිය සහ දේශීය ටෙලිනාට්‍ය කලාව සහ කර්මාන්තය රැක ගැනීමට සහ එහි නිරත වන මෙරට කලාකරුවන් දිරිමත් කිරීමට හැකි වනු ඇති බවත් ඇමැතිවරයා සඳහන් කළේය.

ඇමැති කෙහෙලිය රඹුල්වැල්ල මහතා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තුවේදී (20) පැවති ජනමාධ්‍ය අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදීය.

කොවිඩ් වසංගත තත්ත්වය තුළ රටේ දරුවන් වෙනුවෙන් අධ්‍යාපනික වැඩසටහන් පැය 16ක් පුරා රූපවාහිනිය මඟින් විකාශය කිරීම වෙනුවෙන් වැය කෙරෙන මුදල මසකට මිලියන 22ක් වන නමුත් ඒ සඳහා ලැබෙනුයේ මිලියන 4ක් පමණක් බවත් පැවසූ ඇමැතිවරයා දරුවන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් රාජ්‍ය රූපවාහිනි නාලිකාවේ වගකීම නිසි පරිදි ඉටු කරන බවත් පැවසීය.

මේ වන විට ජාතික රූපවාහිනි නාලිකාව පාඩු ලබන ආයතනයක් බවට පත්ව ඇතැයි සඳහන් කළ ඇමැති රඹුක්වැල්ල මහතා ජාතික අනන්‍යතාව රැක ගනිමින් සහ නවීන වැඩසටහන් වර්ග හඳුන්වා දෙමින් ජාතික රූපවාහිනි නාලිකාව වැඩි දියුණු කිරීමට බලාපොරොත්තු වන බවද පැවසීය.

එමෙන්ම මේ වසර අවසාන වන විට එය ආදායම් පියවිය හැකි මට්ටමට හෝ ළඟා කරවීමට බලාපොරොත්තු වන බවද පැවසීය.

කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ දැඩි ආර්ථික බලපෑමට ලක්ව ඇති රජයේ මාධ්‍ය ආයතන නැවත යථා තත්ත්වයට පත් කිරීමේ දැඩි අභියෝගය තම අමාත්‍යාංශය වෙත පවතින බවද ඇමැතිවරයා සඳහන් කළේය.

රූපවාහිනි නාලිකා සඳහා බලපත්‍ර දීමේ ක්‍රියාවලිය සහ දැනට ක්‍රියාත්මක වන සියලු ප්‍රවෘත්ති වෙබ් අඩවි ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය විධිමත් කිරීමටත්, පුවත්පත් මණ්ඩල පනත සියලු මාධ්‍යයන්ට අදාළ වන පරිදි මාධ්‍ය මණ්ඩල පනත වශයෙන් යළි සංශෝධනය කිරීමටත් තම අමාත්‍යාංශයේ අවධානය යොමු වී ඇති බවද හෙතෙම ප්‍රකාශ කළේය. එමෙන්ම මිලියන 22ක ජනතාව වෙනුවෙන් සිය අමාත්‍යාංශය වෙත පැවරී ඇති වගකීම ඉටු කිරීමට තමන් කැප වන බවද හෙතෙම සඳහන් කළේය.

මේ රැස්වීමට ඇමැති මහින්ද අමරවීර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චන්දිම වීරක්කොඩි, ගීතා කුමාරසිංහ, ජී. කරුණාකරන්, එස්. ගජේන්ද්‍රන්, ශානක්‍යම් රාසමානික්කම්, උද්දික ප්‍රේමරත්න, ඩයනා ගමගේ, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජගත් පී. විජේවීර, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ මොහාන් සමරනායක, ජාතික රූපවාහිනියේ සභාපති රෙජිනෝල්ඩ් කුරේ, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති හඩ්සන් සමරසිංහ, ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති මහින්ද පතිරණ යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරීහු පිරිසක් සහභාගි වූහ.

Exit mobile version