Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඇමැති නාමල්ගේ ලේකම්වරයකු ලෙස රඟපා කොරියාවේ රැකියා දෙන්න ලක්ෂ 7ක් අරන්

ඇමැති නාමල්ගේ ලේකම්වරයකු ලෙස රඟපා කොරියාවේ රැකියා දෙන්න ලක්ෂ 7ක් අරන් - පැමිණිලි 12ක්

ඇමැති නාමල්ගේ ලේකම්වරයකු ලෙස රඟපා කොරියාවේ රැකියා දෙන්න ලක්ෂ 7ක් අරන් - පැමිණිලි 12ක්

ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ලේකම්වරයකු ලෙස අන්තර්ජාලය ඔස්සේ පෙනී සිටිමින් මත්තලින් දකුණු කොරියාවට යවන බව පවසා මුදල් වංචා කළ පුද්ගලයකු පිළිබඳව පැමිණිලි 12ක් ලැබී ඇතැයි ලුණුගම්වෙහෙර පොලිසිය කියයි.

මෙලෙස ලුණුගම්වෙහෙර පොලිසියට පැමිණිලි ඉදිරිපත් කර ඇත්තේ මාතලේ, ආණමඩුව, ‍ෙදාඩම්ගස්ලන්ද, කුරුණෑගල හා හීරියගොල්ල ප්‍රදේශවල පදිංචිකරුවන් 12 දෙනෙකි.

සැකකරු අන්තර්ජාලය ඔස්සේ අදාළ පැමිණිලිකරුවන් සමඟ සම්බන්ධ වී ඇති අතර ඔහුව පැමිණිලිකරුවන්ට හඳුන්වා දී ඇත්තේද කලක් කුවේට් රටේ සේවය කර දැනට කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි කාන්තාවක විසිනි. මෙම සැකකාර පුද්ගලයා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ලේකම්වරයකු බව පවසා කුරුණෑගල පදිංචි කාන්තාව හා එක්ව මෙම ජාවාරම සිදුකර ඇති බවටයි සැකපළ කරන්නේ. සැකකරු එක් පුද්ගලයකුගෙන් රුපියල් 60,000 බැගින් රුපියල් 720,000ක මුදලක් මූලික අත්තිකාරම් ලෙස ගිණුමකට බැර කරවාගෙන ඇති අතර ඉතිරි මුදල ගුවන් තොටුපොළේදී ලබා දෙන ලෙස පැමිණිලිකරුවන්ට පවසා තිබේ.

ඒ අනුව පැමිණිලිකරුවන් 12 දෙනා මීට දින කිහිපයකට පෙර සැකකරුගේ ගිණුමට රුපියල් 60,000 බැගින් මුදල් බැර කර තිබේ. පසුව සැකකරු විසින් පැමිණිලිකරුවන් 12 දෙනාට දකුණු කොරියා යෑම සඳහා 21 දින මත්තල ගුවන්තොටුපොළට පැමිණෙන ලෙසත් තමන් තවත් කිහිපදෙනකු සමඟ මත්තල ගුවන්තොටුපොළට පැමිණෙන බව අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ වී පවසා තිබේ. ඒ අනුව පැමිණිලිකරුවන් 12 දෙනා විදෙස්ගත වීම සඳහා 21 දින පෙරවරුවේ මත්තල ගුවන් තොටුපොළට පැමිණි නමුත් අදාළ පුද්ගලයා ගුවන්තොටුපොළට පැමිණ නැත. පසුව ඔහුගේ දුරකථනයට ඇමැතුම් ගත්තත් එයද විසන්ධි කර තිබේ. පැයකට ආසන්න කාලයක් අදාළ සැකකාර පුද්ගලයා සම්බන්ධ කර ගැනීමට නොහැකිවීම නිසා තමන් කිසියම් උගුලකට හසුව ඇති බව විදෙස් ගතවීමට පැමිණි අයට වැටහී තිබේ. ඒ අනුව විදෙස් ගතවීමට මත්තලට පැමිණි පුද්ගලයන් 12 දෙනා ලුණුගම්වෙහෙර පොලිසියට ගොස් සිද්ධිය පිළිබඳව පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

සැකකරු දැරණියගල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු බවත් ඔහු පිළිබඳ වෙනත් විස්තරයක් නොදන්නා බවත් පැමිණිලිකරුවන් පොලිසියට දන්වා තිබේ. ඒ අනුව සිද්ධිය පිළිබඳව තංගල්ල කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි රවීන්ද්‍ර අඹේපිටිය, සහකාර පොලිස් අධිකාරි ජයශාන්ත ද සිල්වා යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි ලුණුගම්වෙහෙර පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක චින්තක වික්‍රමරත්න මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

Exit mobile version