වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව රටේ ආර්ථිකය සම්බන්ධයෙන් දැඩි අවිනිශ්චිතතාවයක් හා අවිශ්වාසයක් ගොඩනගා ඇති බව වෙරිටේ රිසර්ච් ආයතනයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය නිශාන්ත ද මෙල් කරුණු සහිතව පෙන්වාදී තිබේ.
ආචාර්යවරයා (23) පළ වූ ලංකාදීප පුවත්පතට ලබා දී තිබෙන සම්මුඛ සාකචඡාවක් ඇසුරින් සකස්කර තිබෙන ලිපියකින් මෙම කරුණු හෙළිකර ඇත. එයින් උපුටාගත් කරුණු කීපයක් පහත පළ වේ.
“2019 දෙසැම්බර් මාසයේ සිට අපේ රජය අනුගමනය කරන්නේ අලුත් බදු ප‍්‍රතිපත්තියකි. ඒ හේතුවෙන් දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂකව සියයට තුනකින් රජයේ බදු ආදායම අඩු විය. නිවැරදි ලෙස තක්සේරු කළොත් එය 3%ක් නොව 4%කි. 2019 දෙසැම්බරයට පෙර පැවැති බදු ආදායම දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂකව 12.6%කි. 2019 දුන් බදු සහනය නිසා එය 8.6%ට පමණ කඩා වැටිනි.”
“ලෝක මූල්‍ය වෙළඳපොළට ගොස් ණය ගැනීමේ ප‍්‍රතිපත්තියක් ලංකාව ආරම්භ කළේ 2008 දීය. ඒ ජාත්‍යන්තර ස්වෛරිත්ව බැඳුම්කර මගිනි. එසේ ගෙන තිබෙන ණය ප‍්‍රමාණය චීනයට ගෙවීමට තිබෙන ණයවලට වඩා හතර ගුණයකින් පමණ විශාලය.”
“එදා ඒ ග්‍රීක බැඳුම්කරවලට වැඩි පොලියක් නියම වූයේද ග්‍රීක රාජ්‍යයට ඒ ණය ගෙවාගැනීමට නොහැකිවේය යන ජාත්‍යන්තර මූල්‍ය සංවිධානවල තක්සේරුව මතය. ග්‍රීක රාජ්‍යයට ඒ ණය ගෙවාගැනීමට නොහැකි වීමෙන් ඒ තක්සේරුව සැබෑවිය. එමගින් ලංකාවට වූ පාඩුව අතිවිශාලය. අද ලංකාව සිටින්නේ එදා ග්‍රීසිය සිටි තත්වයේය. ඒනිසා ජාත්‍යන්තර මූල්‍ය වෙළඳපොළෙන් ගන්නා ණයවලට වැඩි පොලියක් ගෙවිය යුතුය.”
“රජය දැන් රටේ ජනතාවගෙන් ණය ගන්නේ අඩු පොලියකටය. එහෙත් උද්ධමනය ඉහළ නංවා තිබේ. සියයට තුනක පමණ තිබූ උද්ධමනය දැන් 6.5%ක් දක්වා ඉහළ නැග තිබේ. ඒ අනුව රජයට ණය දෙන පුද්ගලයාට දැන් ලැබෙන නියම පොලිය බිංදුවකි.”
“විදෙස් රටවලින් ගන්නා ඍජු ණයට කොපමණ පොලියක් ගෙවනවාද කියා රජය හෙළි නොකරයි. රටට හා පුරවැසියාට ඒ තොරතුරු හෙළිනොකිරීම වරදකි. බැඳුම්කර මගින් ණය ගන්නා විට ගෙවන පොලිය කාටත් දැනගත හැකිය. බංගලිදේශයෙන් ණය ගත්තේ කොපමණ පොලියකට දැයි රජය හෙළි නොකරයි. එය ජනතාවගෙන් සැඟවීම වරදකි. මක්නිසාද යත් ඒ ණයත් පොලියත් ගෙවිය යුත්තේ ජනතාවවන බැවිනි.”
“රජය තවමත් තම ආර්ථික සැලැස්ම ඉදිරිපත් කර නැත. ඇත්තෙම්ම නම් දැන් රජයට සැලස්මක් තියෙනවාද? නැතිද? කියාවත් කිසිවෙක් නොදනිති. වරින් වර ඉදිරිපත්කරන අදහස් ද විශ්ලේෂණාත්මකව ඉදිරිපත්කරන ඒවා නොවේ. ඉන් සිදුවන්නේ අවිශ්වාසය තව තවත් තහවුරු වීමය. එය රටට ඉතා හානිකරයි.”