Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

2024 ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයා විමල් වීරවංශ

ආණ්ඩු පක්ෂය තුළ කළකිරීමෙන් සිටින විමල් වීරවංශ මහතාත් එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාත් අතර යම් දේශපාලන එකඟතාවක් තුන්වෙනි පාර්ශ්වයකගේ මැදිහත්වීමෙන් නිර්මාණය වී ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

මේ සඳහා මූලිකත්වය ගෙන කටයුතු කර ඇත්තේ ප්‍රසිද්ධ භික්ෂුන් වහන්සේ නමක් බවයි ආරංචිමාර්ග ප්‍රකාශ කළේ.

ඒ අනුව 2024 ජනාධිපතිවරණය සඳහා ඉදිරියේදී නිර්මාණය කෙරෙන පුළුල් සන්ධානයේ “පොදු අපේක්ෂකයා” වශයෙන් ජනාධිපතිවරණ අපේක්ෂකත්වය විමල් වීරවංශ මහතාට ලබාදීමට රනිල් වික්‍රමසිංහ මහතා එකඟ වී ඇති බව සඳහන්.

මෙය 2014 වසරේදී මෛත්‍රීපාල සිරිසේන මහතා සම්බන්ධයෙන් සාර්ථක වූ ආකාරයටම එනම්, අවසන් මොහොතේදී ජනාධිපතිවරණ අපේක්ෂකයා ආණ්ඩුවෙන් ඉවත්ව පැමිණෙන ආකාරයට සිදුවිය යුතු බවටත් එතෙක් විමල් වීරවංශ මහතා ඇතුළු කණ්ඩායම ආණ්ඩුව තුළ රැඳෙමින් දැනට කරගෙන යන වැඩපිළිවෙලම ඉදිරියටත් කරගෙන යායුතු බවටත් වීරවංශ මහතාගේ පාර්ශ්වය සහ වික්‍රමසිංහ මහතාගේ පාර්ශ්වය සාකච්ඡා කර ඇති බවත් ආරංචිමාර්ග පැවසීය.

වීරවංශ මහතා මහින්ද රාජපක්ෂ මහතාගෙන් පසු අගමැති ධුරයත් ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් පසු ජනාධිපතිවරණ අපේක්ෂකත්වයත් බලාපොරොත්තුවෙන් සිටි බව රහසක් නොවේ. එහෙත් ඒ මහතාට පොහොට්ටු සන්ධානය තුළ දැනට සිටින තත්වයට වඩා ඉහළට යෑමට කිසිදු ඉඩක් නොදෙන වාතාවරණයක් උද්ගත වී ඇති බැවින් ඉහත කී භික්ෂුන් වහන්සේ ඇතුළු පාර්ශ්වය කල් තියාම විකල්පයක් බැලීමට යොමුවී ඇති බවත් වාර්තා විය.

එසේම පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය භාර නොගන්නා බව මාස නවයක්ම තිස්සේ කියමින් සිටි රනිල් වික්‍රමසිංහ මහතා හදිසියේම පාර්ලිමේන්තු පැමිණීමට තීරණය කිරීමත් කිසිසේත්ම අහඹුවක් වශයෙන් සැලකිය නොහැකි බවත් නොසිතන විරූ මට්ටමේ පෙරළි ඉදිරියේදී දකින්නට හැකිවනු ඇති බවත් පසුගිය සති දෙක පුරාම දේශපාලන කරළියෙහි සාකච්ඡාවට භාජනය වී තිබිණි. මැතිවරණ කොමිසමට වික්‍රමසිංහ මහතාගේ නම බාරදෙන අවස්ථාවේදී ද එජාප මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසුවේත් රනිල් සමග ඉදිරියේදී මන්ත්‍රීවරුන් 60 දෙනෙකු එක්වෙනු ඇති බවට ඉඟියකි.

Exit mobile version