Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මාවනැල්ල බුදු පිළිම කැඩීම: අසාද් සාලි ගැන තව දුරටත් විමර්ශන කරනවා – නීතිපතිවරයා

මාවනැල්ල බුදු පිළිම කැඩීම: අසාද් සාලි ගැන තව දුරටත් විමර්ශන කරනවා - නීතිපතිවරයා

මාවනැල්ල බුදු පිළිම කැඩීම: අසාද් සාලි ගැන තව දුරටත් විමර්ශන කරනවා - නීතිපතිවරයා

මාවනැල්ල බුදු පිළිමවලට පහර දීමේ සිද්ධියට අදාළව බස්නාහිර පළාතේ හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා සම්බන්ධයෙන් තව දුරටත් විමර්ශන කරන බව නීතිපතිවරයා (02) ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා ඇත.

එසේම මාර්තු මස 10 වැනිදා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා ඔහු ප්‍රකාශ කළ කරුණු සම්බන්ධයෙන් වන විමර්ශන මේ වන විට බොහෝ දුරට අවසන් කර ඇති බවද නීතිපතිවරයා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට දැනුම් දී තිබේ.

අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින තමන්ව මුදා හරින නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම කැඳවූ අවස්ථාවේදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා මේ බව සඳහන් කර ඇත.

මේ පෙත්සම සිසිර ද ආබෘ, මුර්දු ප්‍රනාන්දු සහ ජනක්ද සිල්වා යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල ඉදිරියේ කැඳවනු ලැබිණි.

එහිදී ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලේ සාමාජික විනිසුරු ජනක්ද සිල්වා මහතා, පෞද්ගලික හේතුවක් මත තමා මේ පෙත්සම් විභාගයෙන් ඉවත් වන බව ප්‍රකාශ කර තිබේ.

අත්අඩංගුවේ පසු වන අසාද් සාලි මහතාට එරෙහිව පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සොයා බැලූ ජනාධිපති කොමිසම විසින් කිසිදු නිර්දේශයක් ඉදිරිපත් කර නොමැති බව ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆායිස් මුස්තාපා මහතා සඳහන් කර තිබේ.

එහිදී විනිසුරු ජනක්ද සිල්වා මහතා විවෘත අධිකරණයේ සඳහන් කර ඇත්තේ පෙත්සම්කරු සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග තමන් සභාපතිත්වය දැරූ අදාළ කොමිෂන් සභා වාර්තාවෙන් නිර්දේශ කර ඇති බවය.

මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙත්සම්කරු විසින් ඉකුත් මාර්තු මස 10 වැනිදා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් පැවසූ කරුණු සම්බන්ධයෙන් කළ විමර්ශන කටයුතු බොහෝ දුරට අවසන් වී ඇතැයි දැනුම් දී ඇත.

එහෙත් මාවනැල්ල බුදු පිළිමවලට පහර දීමේ සිද්ධියට අදාළව පෙත්සම්කරු සම්බන්ධයෙන් කළ පරීක්ෂණ තව දුරටත් සිදු කෙරෙන බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා දැනුම් දී තිබේ.

කරුණු සලකා බැලූ අධිකරණය පෙත්සම සලකා බැලීම ලබන 14 වැනිදා සිදු කිරීමටද විනිසුරු මඬුල්ල තීන්දු කර තිබේ.

කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තමන්ව අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගැනීම නීති විරෝධි යැයි තීන්දු කොට තමන්ව නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අසාද් සාලි මහතා විසින් සිය නීතිඥවරු මඟින් මේ පෙත්සම ඉදිරිපත් කර ඇත.

Exit mobile version