Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

බංග්ලාදේශයෙන් ලංකාවට ඩොලර් මිලියන 200ක ණයක්, ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි

ලංකාවට බංග්ලාදේශයෙන් ඇ.ඩො. මිලියන 200ක විනිමය හුවමාරු ණයක්

ලංකාවට බංග්ලාදේශයෙන් ඇ.ඩො. මිලියන 200ක විනිමය හුවමාරු ණයක්

ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 200ක විනිමය හුවමාරු පහසුකමක් ලබා දීමට එරට මහ බැංකුව වන බංග්ලාදේශ් බැංකු මණ්ඩලය (The Bangladesh Bank) ඉරිදා (මැයි 23) අනුමතිය දී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කර තිබේ. බංග්ලාදේශ් බැංකුවේ නිලධාරීන් උපුටා දක්වමින් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර ඇත.

එම වාර්තාවේ දැක්වෙන්නේ, එරට මහ බැංකු අධිපති ෆස්ලි කබීර් මහතාගේ ප්‍රධානත්වයෙන් මේ පිළිබඳව රැස්වීමක් පැවති බවය. ඒ අනුව, ප්‍රතිපත්තිමය වශයෙන් විනිමය හුවමාරු පහසුකමක් හෙවත් ස්වොප් පහසුකමක් ලෙස මෙම ණය මුදල ලබා දීමට අනුමැතිය ලැබී තිබේ.

ශ්‍රී ලංකාවේ විදේශ විනිමය වියදම් පියවා ගැනීම සඳහා මෙම ඩොලර් මිලියන 200ක විනිමය හුවමාරු පහසුකම සහනදායී පොළියක් මත ලබා දෙනු ඇති බව මාධ්‍ය වාර්තාවල සඳහන් වේ. ඒ සඳහා එම වටිනාකමට සමාන ශ්‍රී ලංකා රුපියල් ප්‍රමාණය බංග්ලාදේශ මහ බැංකුවේ තැන්පත් කළ යුතු අතර රජයේ වගකීම ද සහතික වී ඇතැයි බංග්ලාදේශ මාධ්‍ය වාර්තා කළේ ය.

මේ අතර, ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු මෙන්ම ආර්ථික විශ්ලේෂකයෙකු ද වන ඩබ්ලිව්. ඒ. විජේවර්ධන මහතා පවසන්නේ, ශ්‍රී ලංකාව විදෙස් රටවලට ගෙවිය යුතු ණය පියවීම සඳහා ප්‍රමාණවත් පරිදි ඇමෙරිකානු ඩොලර් ශ්‍රී ලංකාව සතු නොවන බවය.

ඒ අනුව, අදාළ ණය පියවීම සඳහා ඇමෙරිකානු ඩොලර් එක්රැස් කිරීමට ශ්‍රී ලංකාවට සිදුව තිබේ.

Exit mobile version